Friday, March 24, 2017

මානසික ආතතිය නිසා ඇතිවන කායික ලක්ෂණ


මානසික ආතතිය කියන්නේ අද වන විට මඟහැර ඉන්නට නොහැකි දෙයක්. රූපවාහිනිය  ක්‍රියාත්මක කළත්, දුරකථනය අතට ගත්තත් ඒ හැම මාධ්‍යයකින් ම නොමිලේ ම ආතතියෙන් පිරී ඉතිරී යන්නට ඔබට දොරටු විවරවී තිබෙනවා. හැබැයි ඉතින් වරද ඒවාට ම පටවන්නත් බැහැ. ගින්දර ඕනෑතරම් තිබුණාට ඒක අල්ලලා කෙනෙක් පුළුස්සා ගත්තොත් එහි වරද ගින්දරෙහි නොවෙයි.
ආතතිය වුණත් ටිකක් ගින්දර වගේ ම තමයි. ඔබේ එදිනෙදා කටයුතුවල කාර්යක්ෂමතාව ඉහළ නංවාලන්නට එය උත්ප්‍රේරකයක් ලෙසින් භාවිතා කළ හැකි වගේ ම ඔබ එය හිස මතට අරගෙන කිසිවක් නොකර සිටියොත් ඉන් පිළිස්සී අළුවී යන්නටත් පුළුවන්. මෙන්න මෙහෙම ආතතිය නිසා ඔබ පීඩාවට ලක්වෙනවා නම් ඒක ශරීරයෙන් පිටතට ද පෙන්නුම් කරන්නට පටන් ගන්නවා.
1)සමේ පැල්ලම් ඇතිවීම
මානසික ආතතියට ලක්වී වැඩි වේලාවක් සිටීමෙන් පසුදින පමණ වන විට වෙනදාට වඩා සමේ පැල්ලම්, කුරුලෑ වැනි ඉලිප්පීම් වැනි දේ දකින්නට ලැබෙනවා. මෙය ආතති හෝමෝනයක් වන කෝටිසෝල් නිසා ඇතිවන අතර එමගින් සමේ ඡිද්‍රවල හැකිලීයාම සිදුවෙනවා.
මේවා ඇති වෙන්නට එක ම හේතුව ආතතිය ම නොවෙයි; ඇතැම් විට ඔබේ ආහාර වේල, ලබා ගන්නා ඖෂධ හෝ කාලගුණය ඊට බලපාන්නට පුළුවන්. ඒත් ඔබ ආතතියට ලක්වීමෙන් පසු මෙවන් දෙයක් අත්විඳින්නට සිදුවුණොත් ඉන් පුදුම වන්නට දෙයක් නැහැ.
2) දහදිය දැමීම වැඩිවීම
වැඩ වැඩි වුණා ම ඒවා කොහොම ඉවර කරගන්න ද කියලා හෝ කරපු වැඩ ටිකක් නැවතත් මේසයට පැමිණ ඇති විට ඔබට දහඩිය දමන්නට පටන්ගෙන තිබෙනවාද? කොතරම් වායු සමීකරණය කළ කොටසක ඔබ සිටියත්, අනිත් අයට නොදැනෙන රස්නයක් සමඟ ශීඝ්‍ර දහදිය දැමීමක් මේ සමඟ අපේක්ෂා කරන්නට පුළුවන්.
සම සුදු පැහැ අයගේ විශේෂයෙන් කම්මුල් රතුවී යනවා. වෛද්‍ය නිකී මාර්ටිනස් පවසන පරිදි මෙම තත්වයට හේතු වන්නේ හෘද ස්පන්දන වේගය වැඩි කරමින්, ආශ්වාස ප්‍රාශ්වාස වේගය ඉහළ යවමින් සමස්ථිතිය පවත්වා ගැනීම සඳහා ආතතියෙන් බාධා පැමිණවීමයි.
3) දවස පුරා දැනෙන වෙහෙස
කාර්යබහුල දිනයක් අවසානයේ දැනෙන වෙහෙස සාමාන්‍යයි. ඒත් දවස පුරා ම කිසිම හේතුවක් නැතිව මහත් විඩාවක් ඔබට දැනෙනවා නම් ඒ ගැන ටිකක් සැලකිලිමත් වීම අත්‍යාවශ්‍යයි. ලබාගත් ඖෂධයක බලපෑමක් නොවෙයි නම්, මෙම තත්වයට හේතුව වන්නේ අධිවෘක්කවල ඇතිවන විඩාවයි.
කෝටිසෝල් හෝමෝනය අධිවෘක්ක ග්‍රන්ථිවල එක්රැස්වීමෙන් මෙම වෙහෙසකාරී බව දනවන අතර එක දිගට පවතින මානසික ආතතිය නිසා මෙය හට ගැනෙනවා. හැබැයි ඉතින් දවසේ ම නිදිමත බවක් දැනෙනවා නම් ඒකට වෛද්‍ය විද්‍යාව කෙසේවෙතත්, සාමාන්‍ය ව්‍යවහාරයේ නම් කියන්නේ කම්මැලිකම කියලා.
4) හැලී යන කොණ්ඩය
කොණ්ඩය හැලීයාම, දුර්වර්ණ වීම සහ සවිමත් බව නැතිවී යාම කියන්නේ නූතනයේ ඉතා බහුලව දක්නට ලැබෙන ආතතියේ ප්‍ර‍තිඵලයක්. ආතති තත්වයන් ඉතා ඉහළ ප්‍ර‍මාණයන්ට ගිය විට කොණ්ඩය හැලීයාම නිතර දකින්නට ලැබෙන්නට පුළුවන්. ඔබේ කාර්යාල මේසය මත කොණ්ඩ ගස් රැසක් දකින්නට ලැබීම හෝ ස්නානය කරන විට කොණ්ඩය ගැලවී යන හැටි මෙහිදී දැකිය හැකි වෙනවා.
දිගු කාලයක් ආතතියෙන් සිටීම නිසා තුනී බව වැඩි කොණ්ඩයෙන් හිස් කබල වැසී යනවා. එහෙත් මෙම තත්වයට බිය විය යුතු නැහැ. පරම්පරානුගත ලක්ෂණයක් නොවේ නම් මෙසේ ආතතිය නිසා නැතිවී යන කොණ්ඩය ආතති මට්ටම අඩුව යාමත් සමඟ නැවතත් ලැබෙනවා.
5) රුධිර සීනි මට්ටම පහත වැටීම
ඉහළ ආතති මට්ටම් ඔබේ රුධිරයේ සීනි මට්ටම බෙහෙවින් පහත හෙලනවා. මේ නිසා වෙවුලන අප්‍රාණික ගතිය, දුර්වල බව සහ බිස්කට් ආදිය කෑමට දැඩි ආශාවක් ඇති කරවනවා.
වැඩි වශයෙන් නිදි වැරීම හෝ උදෑසන ඇතිවන කෝටිසෝල් මට්ටම් නිසා ද මෙම තත්වය ඇති වෙනවා. හැඟීම්වල ඇතිවන ක්ෂණික වෙනස්වීම්, හිටි හැටියේ ඇතිවන බියසුළු භාවය, හිසකැක්කුම, කැරකැවිල්ල සහ අවධානය ඒකාකාරීව පවත්වාගැනීමේ අපහසුතා මෙම අඩු රුධිර සීනි මට්ටම් නිසා ඇති වෙනවා.
6) දෑතේ වෙවුලන ස්වභාවය
ඇඟිලිවල සහ දෑතේ ඇතිවන වෙවුලන ස්වභාවය සඳහා ද ආතතිය වගකියනවා. කාර්යබහුල බව වැඩි විටකදී වතුර පානය කරන්නට හෝ දුරකථනය අතට ගත් විටදී ඔබට දෑතෙහි එක දිගට වෙව්ලීමක් දැනිය හැකි අතර පෑනක් භාවිතා කරමින් කටයුතු කරන කෙනෙක් නම් එය භාවිතයට ද අපහසුතාවයන් ඇති වන්නට පුළුවන්.
මෙය ද සෞඛ්‍යමය වශයෙන් මහත් අගතියක් සිදු නොකළත් තව දුරටත් කාර්යාලයීය කටයුතු කිරීමට බාධාවක් විය හැකි නිසා සිත තැන්පත් කරගෙන කළ යුතු දේ වෙත අවධානය යොමු කිරීම හෝ කෙටි විවේකයක් ලබා ගැනීම කළ යුතුයි.
7) නිතර හැදෙන සෙම්ප්‍රතිශ්‍යාව
ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිය බිමට ඇද දමන්නට තරම් හැකියාවක් මානසික ආතතියට තිබෙනවා. එමගින් විශබීජවලට ඔබේ ශරීරයේ ආධිපත්‍යය ලබාගන්නට ඉඩ සලසා දෙන නිසා මානසික ආතතිය ඉහළ මට්ටම් වලින් අත්විඳීමේදී සෙම්ප්‍රතිශ්‍යාව සහ පසුව උණ රෝගයන් ද නිතර ඇතිවීමේ සම්භාවිතාවය ඉහළ යනවා.
වෛද්‍ය කැරොලින් ඩීන් පවසන්නේ, “ඔබේ ප්‍රතිශක්තිය, කාය බලය, සංස්ථිතිය සහ සෞඛ්‍යය හොඳින් පවත්වා ගන්නට නම් අධිවෘක්ක ඉතා හොඳින් ක්‍රියාකාරී මට්ටමේ පවත්වා ගත යුතුයි.”
ඉතින් ඔබ මානසික ආතතිය පාලනය කරගෙන අඩු කරගතහොත්, ලෙඩවෙලා වැඩටික අවසන් කරගන්නට නොහැකි වේයැයි නැවතත් ආතතිය ඇති කරගන්නවා වෙනුවට කරන්නට ඇති දේවල් එකින් එක අවසන් කරගෙන කාර්යාලයේ හොඳ නමක් වගේ ම හොඳ සෞඛ්‍යමත් ජීවිතයකටත් දොරගුළු හැරගන්නට හැකිවේවි.

Friday, March 17, 2017

පිරිත් පැන්වල බලයක් තිබේ ද? නැද් ද? පිරිත් පැන් ගැන ඔබ නොදන්නා විශ්මිත රහස් ගොන්න

පිරිත් පැන්වල බලයක් තිබේ ද? නැද් ද? පිරිත් පැන් ගැන ඔබ නොදන්නා විශ්මිත රහස් ගොන්න මෙන්න


මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර – (බෞද්ධ පශ්චාත් උපාධි ආයතනය. සිංගප්පූරුව)
පිරිත් දේශනාවකින් පසු සියලු සැදැහැවතුන් වෙත පිරින් පැන් බෙදා දීම අනිවාර්යයෙන් ම සිදුවන්නකි. ථෙරවාදී, මහායාන හෝ වජ්‍රයාන භේදයකින් තොරව සෑම බෞද්ධ රටකම සෑම බෞද්ධ ප්‍රජාවක් තුළ ම මේ චාරිත්‍රය පවතියි. පිරිත් පැන් තුළ රෝග සමනය කරන ශක්තියක් ඇතැයි ද එමගින් අපේ ගත මෙන් ම සිත ද සුවපත් වෙතැයි ද බෞද්ධයෝ විශ්වාස කරති.
එහෙයින් ආශීර්වාදාත්මක ගාථාවක් සජ්ක්‍ධායනය කරමින් දෑතට යොමු කෙරෙන පිරිත් පැනින් උගුරක් පානය කොට ඉතිරිය මුහුණේත් හිසෙහිත් තවරා ගන්නේ ඉමහත් බැති සිතිනි.අලුත් නිවසක පදිංචි වන විට පිරිත් පැන් ඉස ආසිරි සලසා ගන්නා අතර අලුත් දිවියක් පවුලට එක් වන සුබ නිමිති ආ දා පටන් පිරිත්පැන් නිතර නිතර ගැබිණි ලඳුනට ලැබේ.
බිළිඳා උපදින්නට ලං වත් ම අංගුලිමාල පිරිත කියවා පිරිත් පැන් ලබා දෙන්නේ එමගින් ඇය ට පහසුවක් මෙන් ම රැකවරණයක් ද සැලසෙතියි විශ්වාස කරමිනි. මේ පොදු විශ්වාසය හුදෙක් සාම්ප්‍රදායික වූත් විද්‍යාත්මක සත්‍යයකින් තොර වූත් අභිචාර විධියකට වැඩි යමක් නොවන බවත් සිතන්නෝ එමගින් ලැබෙන්නේ මානසික දිරිමත් කිරීමක් පමණක් බවත් සිතන්නෝ බොහෝ වෙති.
ජල බඳුනක් ඉදිරියේ තබා ගෙන පිරිත් සජ්ක්‍ධායනය කළ පමණින් ජලයට මෙවන් ආශීර්වාදාත්මක ශක්තියක් කැවෙන්නට හැකි ද?
ෆූජිවරා වේල්ලේ ජලය
පිරිත් දේශනයට පෙර පිරිත් දේශනයට පසු
අජීව වස්තුවක් වන ජලයට පිරිත්දේශනාවේ ආශීර්වාද ශක්තිය ශරීරය පුරා ගෙන යන්නට ඇති හැකියාව කුමක් ද? එවැන්නක් ඇතැයි සිතුම බොළඳ මිථ්‍යා විශ්වාසයකැයි සිතන්නෝ අපට නිතර හමු වෙති.
ජලය ආශීර්වාද වාහකයක් ලෙස සිතන්නෝ බෞද්ධයෝ පමණක් නොවෙති. කිතුනුවන් බෞතීස්ම ලබන්නේ ද ජලයෙනි. හින්දූහු ගංගා නම් නදියෙහි ජලය අති පරිශුද්ධ වූ සියලු පාපයන් සෝදා හරින පවිත්‍ර කාරක බලයකින් සමන්විත වූවක් ලෙස අදහති. ඉස්ලාම් භක්තිකයෝ දේවස්ථානයට පිවිසෙන්නට පෙර ජලයෙන් පිරිසුදු වෙති.
ජලය හා සම්බන්ධ වතාවත් හැම ආගමක ම පාහේ දක්නා ලැබේ. මන්ත්‍ර ගුරුකම් කරන්නන් අතර එම විශ්වාස බහුලය. ශ්‍රී දළදා පෙරහර නිම කරනු ලබන්නේ ද දිය කැපීමේ චාරිත්‍රයෙනි. විවාහ චාරිත්‍ර අතර උපරිමය වූ අත පැන් වත්කිරීම ජලය සාක්ෂියට තබා ගැනීමකි. යමක් සසුනට පිදීමෙහි දීද මේ සිරිත අනුගමනය කෙරෙයි. මේ සියලු චාරිත්‍ර හුදෙක් අමනකම් සේ සැලකිය හැකි ද?
විද්‍යාත්මක ලෙස විවරණය කළ නොහැකි දේ පසු පස ඇත්තේ හුදු මානසික වූත් ස්වයං යෝජනාවකට එහා නොවිහිදෙන්නා වූත් විශ්වාස මාත්‍රයක් පමණක් සේ හඳුන්වමින් මේ සියල්ල ලඝු කොට තැකීම පහසු ය. එතකුදු වුවත් විද්‍යාව දිනෙන් දින තම විෂය ක්ෂේත්‍රය පුළුල් කරමින් මෙතුවක් කල් හුදු ජන විශ්වාස පමණක් සේ සිතූ දේ පිළිබඳව ද පරීක්ෂණ කරන බව නොරහසකි. නිදසුනක් ලෙස වෘක්ෂ – ලතාවනට මිනිස් කටහඬ දැනෙන අයුරු පිළිබඳව පවත්වා ඇති පර්යේෂණ දැක්විය හැකිය. සංගීත නාදරටා මෙන් ම පිරිත් ශබ්ද රටාවනට වෘක්ෂ ලතා ප්‍රතිචාර දක්වන බව සනාථ කර ඇත.
ඒ අයුරින් ම ජලයට ද අප ගේ සජ්ක්‍ධායනා, යාතිකා සහ ආසිරි පැතුම් දැනෙනවා විය නොහැකි ද? ජලයට ‘දැනෙන’ සහ ‘මතක හිටින’ ශක්තියක් ඇතැයි සිතුමට අනුබල දෙන පර්යේෂණයක් 1990 දී ප්‍රංශ විද්‍යාඥයකු වූ ජැක්විස් බෙන්වෙනිස්තේ විසින් කරන ලදී. විවිධ පදාර්ථයන්හි අංශු තම භෞතික සහ ශක්ති පිළිබඳ තොරතුරු වෙනත් අංශූන් වෙත සංවහනය සඳහා ජලය උපයෝගී කරගන්නා බව හෙතෙම හෙළි කළේය. වෙනත් වචන වලින් කියතොක් ද්‍රව්‍ය ලෝකයේ පණිවිඩ කාරයා ජලය ය
විද්‍යාඥයන් නොවන අය ඉවෙන් මෙන් දැන සිටි කරුණක් පිළිබඳව ඔහු පළ කළ මේ මතය විද්‍යාඥයන් අතර මහත් ආන්දෝලනයක් ඇති කළේය. නොබෙල් ත්‍යාගලාභීනට සම තත්ත්වයේ අග්‍රගණ්‍ය විද්‍යාඥයකු වූ ඔහුට මේ අදහස නිසා ඇතැමුන් ගේ් ගැරහුම් වලට ලක් වීමට පවා සිදු විය. කෙසේ වුවද ජලයට මෙවන් අද්භූත ශක්තියක් ඇතැයි හෝමියෝපති වෛද්‍ය ශාස්ත්‍රයෙන් ද සනාථ වෙයි. හෝමියෝපති ප්‍රතිකර්ම සඳහා ඖෂධ යොදා ගැනෙන්නේ ඖෂධයේ ශක්තිය ශීඝ්‍ර භ්‍රමණ – චලන මගින් (වේගවත් කරකැවීම් මගින්) ජලයට කවා ගැනීමෙනි. රෝගියාට ලැබෙන්නේ ජලය විසින් සංවහනය කරනු ලැබූ ශක්තිය මිස දළ ඖෂධ ය නොවේ. හෝමියෝපති ඖෂධ කිසි කලෙක රෝගියකුට විෂ නොවන්නේ එහෙයිනි. මල්වල සුවඳ හා සාරය ජලයට උකහා ගැනෙන අයුරු පොදු ජනයා අත්දැකීමෙන් දන්නා දෙයකි.
මෑතකදී ජපන් ජාතික වෛද්‍යවරයකු වූ මසුරෝ එමොතෝ මේ විෂයෙහි ඉතා වැදගත් ඡායාරූප පෙළක් විද්‍යාඥයන් හමුවේ ඉදිරිපත් කර ඇත. ජලයෙන් පණිවිඩ නම් ග්‍රන්ථයෙන් මේ ඡායාරූප ප්‍රකාශයට පත් කර ඇත.

බැටරියක ආලෝක ධාරාවකින් බයිපාස් සැත්කම කළ කරාපිටියේ හිතහොඳ දොස්තර


1998 සිට 2015 වනවිට හදවත් සැත්කම් 12,000 කට වැඩි ප්‍රමාණයක් සිදුකොට ඇති විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ (2014) සිදුකොට ඇති හෘද සැත්කම් සංඛ්‍යාව 579 කි.රෝගීන් විසින් වෛද්‍ය ගමගේ හඳුන්වනු ලබන්නේ ‘පුදුම දොස්තර’ යන ගෞරව නාමයෙන්.
වෛද්‍ය නාමල් ගමගේ වෛද්‍ය නිවාසයේ සිට අරුණැල්ලේම පිබිද බයිසිකලයක් පදිමින් තම කුඹුරට ගියේය. අද එතුමා පදිංචිව සිටින්නේ ද ඒ කුඹුරු යාය අද්දරමය. කෘමිනාශක පොහොර යොදා සතුන් මරනවාට විරුද්ධ මේ වෛද්‍යවරයා කාබනික පොහොර යොදා ගනිමින් වී බුසල් 12 ක වපසරියකින් යුතු අක්කර 6 ක කුඹුරක්, කුඹුරට බැස අස්වද්දන්නෙකි. ඊට ගැමියෝ ද උදව් උපකාර කරති.
ඒ අනුව ලංකාවේ එකම දොස්තර ගොවියා ද නාමල් ගමගේ මහතා විය යුතුය. පැහෙන කිරි වැදෙන වී කරල් තම කුඹුරේ නැළවෙන කාලයට සකලයන් හඹා යන (කුරුල්ලන් එළවා දමන)
මේ දොස්තර ගොවියා ජීවිතය ද නිවැරැදිවම හඹා යන්නෙකි.

ඒ හැමටමත් වඩා දැන් ඔබට කියන්න යනදේ ඇසුවොත් ඔබට සිතෙයි මෙවැනි වෛද්‍යවරු ලංකාවේ සිටිනවාද යන වග. මේ කතාව හොඳින් කියවා බලන්න.
ඒ 2015 08 08 දා හිමිදිරියයි. කරාපිටිය රෝහලේ හෘද හා උරස් ශල්‍ය වෛද්‍ය ඒකකය වෙනදා මෙන් රෝගීනගේ හිත සුව සඳහා ක්‍රියාත්මක වෙමින් තිබිණ. මොර සූරන මහ ධාරානිපාත වර්ෂාවක් ගාල්ල හා කරාපිටිය හබරාදුව මතු නොව මාතර පුරවරයට ද වේගයෙන් ඇදහැලෙන්නට විය. දිවයිනේ වෙනත් ප්‍රදේශ ද මේ මහ වැස්සෙන් තෙතබරිත වී ගිය බව පසුව දැනගන්නට ලැබිණ. විටින් විට අහසේ නැගුණු රිදී එළි හා ගොරබිරම් හඩ සමග බක් මහ අකුණු දස අත නැ‍ගෙන්නට වීය. රෝහල අසල ට්‍රාන්ස්ෆෝමරය ද රෝහලේ ජෙනරේටර් ද මේ අකුණු පහරින් මුළුමනින්ම අක්‍රීය විය. හෙණ හඩ නගන අකුණු ශල්‍ය වෛද්‍ය ඒකකය ඉස්මත්තේ ද පුපුරන්නට වීය.
කීර්තිමත් හෘද හා උරස් ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා එදා උදෑසන වැඩ ආරම්භ කළේ පාන්දර 3 ට පමණය. ඒ වන විටත් එතුමා හෘද රෝගියකු වෙනුවෙන් මහත් කැපවීමක් කරමින් සිටියේය. රෝගියා මුස්ලිම් ජාතික මහතෙකි. අවුරුදු 55 ක් පමණ වයසය. ඔහුගේ උරහිස පලා දෙපැත්තට වන්නට කපා තිබුණු මොහොතක විදුලිය විසන්ධි වී ශල්‍ය වෛද්‍ය ඒකකය ද අඳුරේ ගිලුණේය. ඒත් හීපොක්‍රටීස් ප්‍රතිඥාව අනුව නියම ජීවකයා තමා වෙත ආ රෝගියා අත්හරින්නේ නැත. මිනීමරුවකු වුව පොලීසියටවත් තමා සන්තකයේ සිටි රෝගියා ගෙන යන්නට ඉඩ නොදුන් ඇතැම් ජීවකයන් පිළිබඳ පුවත් මම අසා ඇත්තෙමි.
වෛද්‍ය නාමල් ගමගේ බැටරියක දුබල ආලෝකය ඇසුරු කැර රෝගියාගේ උරහිස මැස්ම පටන් ගත්තේය. ඒ වන විට කරන්නට තිබුණේ ද ඒ ටික පමණය. විදුලි එළියෙන් කරන කාර්යභාරයටත් වඩා පරිස්සමින් වසර 16 ක ක අත්දැකීම් හා පරිචය ඇසුරුකොට එතුමා සාර්ථකව ශල්‍යකර්මය නිමා කළේය. මෙය ලෝක වාර්තාවක් බව අප දන්නා වුවත් වෛද්‍ය නාමල්ට එය ගණනක් නැතිය. ඒ නිසා එතුමා ඉන් උදම් නොවේ.
ඒක ඒ තරම් දෙයක් නෙවෙයි. හදිසි අවස්ථාවක ක්‍රියා කරන්න මා පුරුදු වෙලා ඉන්නවා. ඔය වෙලාව වෙනකොට ඔපරේෂන් එකේ ගොඩක් කරලා ඉවරයි. කරන්න තිබුණෙ දෙකට කපා පැලු උරහිස නැවත මැසීමයි. අකුණක් වැදිලා ට්‍රාන්ස්පෝමර් හා ජෙනරේටර් දෙකම පිච්චිලා ගියා. රෝහල අඳුරේ ගිලුණා. මං බයිෆාස් සැත්කම නැවැත්තුවෙ නෑ. එහෙම වුණානම් අනතුරුදායකයි. එදා උදේ 3 ට විතර වැඩ පටන් ගත්තේ. මේ සිද්ධිය වෙනකොට උදේ 5.45 ට විතර ඇති. මං සීරුවට පුංචි බැටරියක ආලෝක ධාරාවකින් මැස්ම කළා. රෝගියා දැන් සුවෙන් ඉන්නවා. වෛද්‍යතුමා මට එසේ කීවේ එය ඉතා සුළු සිද්ධියක් ලෙස සලකමිනි.
එහෙත් අපට එය බරපතළ පාඩමකි. චැනල් කරමින් අතිවිශාල මුදල් නියම කරන ඔපරේෂන්වලට තම හත්මුතු පරම්පරාවක් හම්බ කළ සල්ලි ඉල්ලන ඉන්ෂුවරන්ස් එක ඉවරනම් තම පෞද්ගලික රෝහලින් ලෙඩා රජයේ රෝහලට ගෙන යන්නට නියම කරන, ඔපරේෂන් කරන අතර වෙනත් බහුවිධ කාරණාවලට හිත යොමු කරන ඇතැම් ජීවක පරම්පරාවක් සිටින මේ රටේ එතුමා අපට පරමාදර්ශයකි. හිපොක්‍රටිස් නියමය රකින සැබෑ වෛද්‍යවරයෙකි.
ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ ගැන මම අතිශයෝක්ති වර්ණනයක් නොකරමි. ප්‍රායෝගික ලෝකයෙන්ම එතුමා වීර්යවන්ත සැබෑ මානවවාදියකු බවට ඕනෑතරම් නිදර්ශන රෝගීන් අතරින්ම සොයා ගත හැක්කේය. එතුමා 98 වසරේ සිට 2015 මේ දක්වා ජීවිත 12,000 ක් ශල්‍ය වෛද්‍යකර්ම සිදුකැර සුවකළ ජීවකයෙකි. පුරා අවුරුදු 16 ක් හරිහැටි නින්දක් පවා නොලබා රජයේ වැටුපට කටයුතු කරන්නෙකි. පොරොත්තු ලේඛනයේ සිටින සුවහසක් ලෙඩුන් වෙනුවෙන් කඳුළක් හලන එකම වෛද්‍යවරයා බව මම දනිමි. එනිසා මුල් කාලයේ ඔහුට කිසිඳු ඉඩක් විශ්‍රාමයක් නොලැබුණේය.
එහෙත් දැන්නම් ඔහු සමග මහන්සිව කටයුතු කරන තවත් වෛද්‍යවරු දෙදෙනෙක් කරාපිටිය හෘද හා උරස් ශල්‍ය ඒකකයේ සිටිති. මුල් කාලේ යාපනයෙන්, ත්‍රිකුණාමලයෙන්, ‍කොළඹින් මතු නොව මහනුවරින් ද ලෙඩ්ඩු මෙහි ගෙන ආහ. ඒ මෙහි ඔපරේෂන් කටයුතුවල වේගවත්කම හා පරිස්සම නිසාය. පෞද්ගලික රෝහලක ලක්ෂ ගණනකට ඔපරේෂන් කිරීමට වඩා තම මවගේ අභිප්‍රාය අනුව අහිංසක දුප්පතුනට සේවය කිරීම මේ වෛද්‍යවරයාගේ පැතුමය. මේ සිදුවීමත් එක්කම එතුමන්ගේ අතීත කතාව ස්මරණය කිරීම වැදගත්ය. 2010 වසරේදී සිළුමිණ ජාතික පුවත්පතට මා ලියූ ‘මගේ අම්මා’ නම් හෘදයාංගම ලිපි සරණියේදී මෙතුමන් ගැන කියැවුණු කොටසක් නැවත ලියමි.
දුප්පතුනට සේවය කරන්ට මට උගැන්නුවෙ මගේ අම්මා. මං වෛද්‍ය විද්‍යාලයයට ඇතුළුවන කාලෙත් මගේ අම්මාගේ අතේ මැණික් කටුවේ ඇදයක් තිබුණා. ඒ ඇදය කෙසේ හෝ හරිගස්සන්ට ඕනෑ කියලා හිතලා මං ප්‍රාර්ථනා කළා. මට ‍ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන්ට ලැබේවා` යි කියලා. අම්මත් ඒ පැතුමෙන් හිටියෙ. මගේ ජීවිතේ බොහෝ පිරිසක් අම්මලා පුංචි දරුවන් මං ඔපරේෂන් කරලා සුව කරපු අවස්ථා තිබුණා. තිඛෙනවා. එහෙත් මගේ වෛද්‍ය ජීවිතයේ මා වඩාත්ම සතුටු වෙච්ච දවස මගේ අම්මාගේ අත ඔපරේෂන් කරලා අර පුංචි කාලෙ දුටු ඇදය හරිගැස්සු දවසයි.
ඇයි` මේ ලෙඩා හෙණ ගහන වැස්සේ කළුවරේ ඔපරේෂන් කරලා ගලවාගත්ත එක ගැන සතුටු නැද්ද? මම ඇසුවෙමි. මොකෝ නැත්තෙ, මම හරිම සතුටුයි. ඒත් වෛද්‍යවරයෙක් වශයෙන් ඒක මගේ රාජකාරිය. මේක ඒ අතරින් එක අවස්ථාවක් විතරයි.
ඔබතුමා වඩාත්ම සසල වූ දවස් ඇද්ද?
අපේ වෛද්‍ය කර්ම‍යන්ගේ ප්‍රතිඵල නැතිව ලෙඩ්ඩු මැරුණාම අපට හිතට කරදරයි. කනගාටුයි. පුංචි දරුවන් ගැන අහිංසක දුප්පත් වයසක අම්මලා ගැන ඔබ අහනවා. ඒ වගේ වෙච්ච අවස්ථා නැති තරම්. ඒත් පොරොත්තු ලේඛනය දිග වැඩියි. 1000 ක් විතර ලෙඩ්ඩු ඉන්නවා දවසකට ඔපරේෂන් 10 ක් කරන්ඩ බෑ. සමහර දිනට මා කියනවා අහවල් දවසෙ අහවල් ලෙඩාව ඔපරේෂන් එකට එන්ඩ කියලා ඒ ලිපිනයට ලියුම් යවන්ඩ. දුරකථන ඇමතුමක් දෙන්ට කියලා. සමහර විටක එහෙම ඔපරේෂන් එකට ගන්ඩ සූදානම් වුණු ඇතැම් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, දුවෙක්, පුතෙක් පොරොත්තු ලේඛනය අනුව ගෙන්වන්ඩ ගියාම ඒ ඥාතින් මා හමුවෙලා කියනවා ඩොක්ටර් අම්මා මැරිලා දැන් තුන් මාසෙත් ‍ඉවරයි කියලා. අන්න` ඒ වෙලාවට මගේ හිත හුගාක් සසල වෙලා තියෙනවා. මේ අම්මා මිය ගියේ අපේ අඩුපාඩුකමක් නිසා නොවුණත්, ඒකට අපත් සම්මාදම් වුණා ද කියලත් හිතෙනවා. එහෙම අපට ඇති පහසුකම්වලට මේ එන ලෙඩ්ඩු ප්‍රමාණයට ඔක්කොම ඔපරේෂන් කරගන්ඩ බෑ. ඒකට කාලයක් යනවා.
මේ දොස්තර සංවේදිය. අවංකය. අවංක මිනිසාගේ කැමැත්ත මිලදී ගැනීමට මුළුමහත් විශ්වයම අපොහොසත් යැයි වරක් නීග්‍රෝ ජාතිකයන්ගේ අසහාය නායක මාටින් ලුතර් කිං කීවේය. මේ ජීවකයා සල්ලිවලට ගන්නට බහුවිධ පෞද්ගලික වෛද්‍ය ව්‍යාපාරවලට බැරිය. ඔහු අහිංසක ජනතාව වෙනුවෙන්ම කැපවී හිඳී. එතුමාගේ අවංකකම ගැන දොරමඩලාව, අමාදහර වැනි වැඩසටහන්වලදී පේරාදෙණිය සරසවියේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා නිතර කතා කරයි.
යම් හෙයකින් අඳුරේ කටයුතු කරන්නට බැරියැයි ශල්‍ය වෛද්‍යවරයා කීවානම් එය කෙතරම් බරපතළ ඛේදවාචකයක්දැයි මම ඔඛෙන් අසමි. ජාතීන් අතර සංහිඳියාව ද සුරකින මුස්ලිම් මහතකුගේ ජිවිතය වෙනුවෙන් තම රාජකාරිය අකුරට ඉටුකළ මේ වෛද්‍යවරයාට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය.
උපුටා ගැනීම.
උපාලි සමරසිංහ – http://www.silumina.lk/

Thursday, March 16, 2017

වියපත් පිරිමින් ළාබාල කතුන් බඳින්නෙත් රාගය හින්දයි


වියපත් පිරිමින් තමන්ට වඩා බොහෝ ළාබාල කාන්තාවන් විවාහ කර ගැනීම පිළිබඳව පොදු සමාජ කතිකාවක් පැන නැඟී ඇති වර්තමානයේ ඒ සම්බන්ධ බෞද්ධ ආකල්පය විමසා දැන ගැනීම පිණිස අපි රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ පූජ්‍ය හෑගොඩ විපස්සි හිමිපාණන් වෙතින් මෙම විමසීම කළෙමු.
ස්වාමීන් වහන්ස, සැමියකු සහ බිරිඳක අතර තිබිය යුතු නිශ්චිත වයස් පරතරයක් පිළිබඳව බුදු දහමේ යම් පැනවීමක් තිබෙනවාද?
බුදු රජාණන්වහන්සේ කිසිම තැනක ගිහියන් උදෙසා විශේෂ පැනවීම් සිදු කොට නැහැ. විනය නීති මගින් ‍එසේ පැනවීම් කොට ඇත්තේ භික්ෂූන් වහන්සේලා සඳහා පමණයි. නමුත් බුද්ධ දේශනා මගින් සෘජුව සහ වක්‍රව පැවසෙන කරුණු ඔස්සේ තමන් ගේ ජීවිත ගොඩ නඟා ගැනීමේ වගකීම ගිහියන් වෙත පැවරෙනවා.
ඒ අනුව අඹු – සැමි යුවලක් අතර පැවැතිය යුතු ගැලපීම් පිළිබඳව බුදු දහමේ සඳහන් වෙනවාද?
ඔව්; සංයුක්ත නිකායේ මාතුගාම සංයුක්තයේ එන මාතුගාම සූත්‍රවල විවාහය සඳහා තිබිය යුතු ගැලපීම් පිළිබඳව සඳහන් වෙනවා; එහි දී තමන්ගේ රුවට ගැලපෙන, වත්කමට ගැලපෙන, සිල්වත් බවට ගැලපෙන ආදී වශයෙන් විස්තර ඉදිරිපත් කෙරෙනවා.
එතකොට අඹු – සැමියන් අතර පැවැතිය යුතු වයස් පරතරය පිළිබඳව?
බුදු දහම මැදහත් බව, තුලනාත්මක බව, සමබරතාව පදනම් කර ගත් ශාස්තෘ දේශනාවක්. බුදු දහමේ ප්‍රධානම ඉගැන්වීමක් වන මධ්‍යම ප්‍රතිපදාවෙන් වුවත් ඒ බව සනාථ වෙනවා; ඒ අනුව යෞවනය ඉක්මවූ (අතීත යොබ්බන); එනම් වයස්ගත පිරිමියකු යෞවනියක හා විවාහ වීම වැනි අගතිගාමීත්වයන් බුදු දහමින් අනුමත වන්නේ නැහැ. එය යමකුගේ පිරිහීමට හේතුවක් බව පරාභව සූත්‍රය මගිනුත් සෘජුව අවධාරණය‍ කෙරෙනවා.
ඊට හේතු වශයෙන් බුදු දහම ඉදිරිපත් කරන කරුණු මෙනවාද?
තරුණියක සහ වියපත් පුද්ගලයකු අතර ඇතිවන විවාහය කියන්නේ කායික, මානසික නොගැලපීම් මැද සිදුවන්නක්. විශේෂයෙන් වියපත් වීමත් සමඟ පුද්ගලයකු කායික මානසික වශයෙන් පිරීහීමට ලක් වෙනවා. එවිට තමන් ගේ ‍යොවුන් බිරිඳ තමන්ට වඩා කායික මානසික ගැලපීමකින් යුතු තරුණයකු සමඟ එක් වෙතැයි යන සැකයෙන් ඒ වියපත් තැනැත්තා දිවා රෑ පෙළෙන බවත්, එමගින් බිරිඳ පිළිබඳ ඊර්ෂ්‍යා සහගත සිතුවිලි ඇතිවන බවත් සූත්‍ර අටුවාවේ පැහැදිලිවම සඳහන් වෙනවා.
නමුත් වියපත් කාන්තාවක තරුණයකු හා විවාහවීම සම්බන්ධයෙන් බුදු දහමේ එවැනි විශේෂිත සඳහනක් නැහැ නේද?
මම කලිනුත් කී විදිහට බුද්ධ දේශනාව කියන්නේ අපේ කටවහරට අනුව කීවොත් ‘ඇඟිල්ලෙන් ඇන ඇන’ කරුණු කියා දෙන ශාස්තෘ දේශනාවක් නොවෙයි. බුදු දහමින් සෘජුව හා වක්‍රව ඉදිරිපත් වන කරුණු අනුව අපගේ ජීවන දර්ශනය අප විසින්ම ‍‍ගොඩ නඟා ගත යුතු බවයි බුදු දහමේ ඉගැන්වෙන්නේ. එහි බුදු වරුන් පිළිබඳව විස්තර කරන්නේ මාර්ගෝපදේශකයන් වශයෙන් විතරයි.
කුසලය සහ අකුසලය පිළිබඳව විශේෂයෙන් සඳහන් කරන බුදු දහමට අනුව මෙසේ විශාල වයස් පරතරයක් සහිත විවාහයක් අකුසල කර්මයක් විදිහට හඳුන්වන්න බැහැ නේද?
මොකද බැරි? පැහැදිලිවම පුලුවන්! රාගය කියන දේ පුහුදුන් මිනිසුන් තුළ හටගන්නා ස්වභාවික ආවේගයක් බව බුදු දහම සෘජුවම පිළිගන්නවා; එය මැඩ පැවැත්වීම ගලා ගෙන යන ජලයක උඩුගං බලා පිහිනීමක් (පටිසෝතගාමී) බඳු අසීරු දෙයක් බවත් බුදු දහම පිළිගන්නවා; ඒ වගේම එය පියවරින් පියවර ඉදිරියට ගෙන යා යුතු ක්‍රියා මාර්ගයක්! ඒ කියන්නේ අනුපූර්ව ශික්ෂාවක්!
නමුත් මෙවැනි නොගැලපෙන විවාහ බුදු දහමේ හැඳින්වෙන්නේ ‘අධම්ම රාග’ වශයෙන්. ඒ කියන්නේ නොහික්මුණු මෛථුන සේවනයක් හැටියට; නුසුදුසු පරිදි එලෙස මෛථුන සේවනයේ යෙදීම (අයුත්තට්ඨානෝ රාගෝ) බුදු දහමින් ප්‍රතික්ෂේප වන බව දීඝ නිකායේ චක්ඛවත්තී සිහනාද සූතුයෙන් සහ එහි අටුවාවෙන් පැහැඳිළි වෙනවා. ඒ වගේම යමකු සම්මත සදාචාර ධර්ම ඉක්මවා මෙවැනි අධර්ම රාගයට යොමු වන්නේ දැඩි ලෝභය (අභිජ්ජා) මුල් කොට ගෙන බව බුදු දහම අවධාරණය කරනවා. ඒ අනුව ඒකාන්ත වශයෙන්ම ඒක අකුසල කර්මයක්.
නමුත් අපි හිතමු කිසියම් වයස්ගත පුද්ගලයකු ජීවිතයේ අසරණ වූ තරුණ කාන්තාවකට පිළිසරණක් වීමේ අදහසින් ඇය විවාහ කර ගන්නවා කියා. ඒක කොහොමද අකුසලයක් වන්නේ? 
විපයත් පිරිමියකුට අසරණ වූ තරුණ කාන්තාවකට පිහිටවීමට අවශ්‍ය නම් ඇයට සියළු රැකවරණ (රක්ඛාවරණ ගුත්ති) ලබා දියහැකියි. නමුත් නිස්සරණ ධ්‍යාසයෙන් එසේ කිරීමත් එවැන්නියක විවාහ බන්ධනයකට නතු කර ගැනීමත් අතර ලොකු වෙනසක් ‍තිබෙනවා; වියපත් පුද්ගලයකු ළාබාල කාන්තාවක් වුවත් විවාහ කර ගන්නේ රාගය පදනම් කරගෙනයි.
නමුත් සමාජයීය වශයෙන් ගත් විට බොහෝ වියපත් පිරිමියකු වුවත් තරුණ කාන්තාවක විවාහ කර ගැනීමේ කිසිදු දෝෂයක් නැතැයි බොහෝ දෙනෙක් පවසනවා. ඒ අනුව නූතන සමාජයීය ආකල්ප සහ බෞද්ධ ඉගැන්වීම් අතර යම් පරස්පරතාවයක් තිබෙනවා නේද? 
නූතන ව්‍යවහාරයට අනුව ගත්තත් පවුල කියන්නේ සමාජයේ කුඩාම එකකය. ඒ පවුල් ඒකකය නොබිඳී ස්ථාවරව පැවැතීම මත තමයි සමාජයේ ස්ථායි භාවය තහවුරු වෙන්නේ. බුදු දහමේ උත්තරීත්තර පරමාදර්ශය නිවන වුණත් පුද්ගලයා, පවුල සහ සමාජය කියන කරුණු තුනම එමගින් සමෝධානයට ලක් කෙරෙන බව සූත්‍ර පිටකය විශ්ලේෂණය කිරීමේ දී මනාව පෙනී යනවා; විශේෂයෙන් දීඝ නිකායේ සිඟාලෝවාද සූත්‍රය කියන්නේ පුද්ගල, පවුල්, ප්‍රජා සහ සමාජමය වශයෙන් මිනිසාට යහපතක් උදාකර ගැනීමට මඟ පෙන්වන බුද්ධ දේශනාවක්. එමගින් ගිහි සමාජය වෙත චිත්ත දමනය මුල්කොට ගත් යුතුකම් මත පදනම් වන සදාචාරාත්මක ක්‍රියාදාමයක් යෝජනා කෙරෙන බව කුඩා දරුවන් පවා දන්නා කරුණක්.
නමුත් ඔය කියන ආකාරයේ වියපත් පුද්ගලයන් තරුණ කතුන් විවාහ කර ගැනීම ඔස්සේ යුතුකම් මත පදනම් වන ඒ ක්‍රියාදාමයට පවා සෘජු බාධා පැමිණෙන බව සාමාන්‍ය සිහිබුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුට වුණත් වටහා ගන්න පුලුවන්. ඉතින් ඒ අනුව වුවත් බොහෝ වියපත් පුද්ගලයන් ඊට වඩා බොහෝ ළාබාල කතුන් විවාහ කර ගැනීම සම්බන්ධයෙන් බුදු දහමින් අනුමැතියක් නොලැබෙන බව සිතා ගැනීමට පුලුවන්නේ!

Monday, March 13, 2017

සින්දු ලියන සින්දු කියන රෝහල්වල වැසිකිළිත් හෝදන ‘පුදුම’ දොස්තර ඒ මගේ හැටි. මම නිවාඩු දවසටත් වැඩ. මම වැඩ කරන්නේ නිවාඩු දවස් අත්හැර අත්හැර වැඩ කරන්න පුළුවන් තැනක ‍නෙවෙයිනේ.


රජයේ කන්තෝරු දොර අගුල් ලා වැසෙන ‘රජයේ නිවාඩු’ දිනයක රජයේ කන්තෝරුවකට මම කැඳවුම් ලැබිමි. කතාබහකට කළ ඉල්ලීමකට ලැබුණු මේ ඉඩ පුදුමයෙන් නමුදු මම පිළිගතිමි.
කැඳවුම ලැබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයටයි.
පුදුමය ඇති කරවමින් අප කැඳවූයේ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සුදර්ශන අරඹෙගෙදරයි.
පුදුම වෙන්න ඇති නේද නිවාඩු දවසක ඔෆිස් එකටම එන්න කිව්වම ඔහු මගේ සිතේ තවමත් ඉතිරිව තිබුණු පුදුමය හැඳින්නේය.

ඒ මගේ හැටි. මම නිවාඩු දවසටත් වැඩ. මම වැඩ කරන්නේ නිවාඩු දවස් අත්හැර අත්හැර වැඩ කරන්න පුළුවන් තැනක ‍නෙවෙයිනේ. ලෙඩ්ඩුන්ගේ ජීවිතත් එක්කයි අපි වැඩ කරන්නේ ඔහු කියාගෙන ගියේය.
ඔහුගේ ඒ කතාව නැවත මගේ සිතට පුදුමයක්ම ගෙන ආවේය.
මෙච්චර වැඩ වැඩි කෙනෙක් කොහොමද සින්දු ලියන්නේ, සින්දු කියන්නේ? එතකොට තමන්ගේ අත්දැකීම් ලියන බ්ලොග් පිටුවක් කරන්නේ?
මගේ සිතට දැනුණු පුදුමය මම එසේ වචන බවට පත් කළෙමි. අප ඔහු හමුවන්නට වෙලාවක් සෙවූ නිමිත්තද ඒ වචනවලටද ගැට ගැසීමි.
ඕනම කෙනකුට තමන් කැමැති දේවල් කරන්න වෙලාව නැති වෙන්න බැහැනේ. මම වෛද්‍ය සැපයුම් අංශයේ රාජකාරියට ඇවිත් දැන් මාස දහයකට කිට්ටුයි. වගකීම් වැඩියි. වැඩත් වැඩියි. එහෙම කියලා මගේ ගෙදර වෙනුවෙන් මම වෙන් කරන වෙලාවයි, ලියන්න මම වෙන්කරන වෙලාවයි මම අඩු කරලා නැහැ. සමහරු පුදුම වෙන්න පුළුවන් දොස්තර මහත්තයෙක් සින්දු ලියලා, ගායනා කරනවා කිව්වාම. හැබැයි මේ දොස්තර එහෙම තමයි. සින්දු ලියන, සින්දු කියන දොස්තර මහත්තයෙක්.
දොස්තර මහත්තයාගේ කතාව පිරී ඇත්තේ ‘පුදුම’ වලින්මය. කලාවට බර සිතක් ඇති මේ දොස්තර මහත්තයාගේ දොස්තර ජීවිතයද ඒ පුදුමයන්ගෙන් අඩුවක් නැති බව ඔහුම ලියන බ්ලොග් ලියුම්වලින් කියැවෙන්නේය. පුදුමය පිරුණු කතා මල්ල ලෙහන්නට ඔහුගේ කතාව ගමෙන්ම පටන් ගන්නට මම කල්පනා කළෙමි.
මගේ ගම කොහේද කියලා ඇහුවොත් මම කියන්නේ බළන්ගොඩ කියලා. මගේ අම්මා අදටත් ඉන්නෙත් අපේ මහගෙදර, තියෙන්නෙත් බළන්ගොඩ. මම ඉපදුණේ නම් ජාඇල කපුවත්තේ. අම්මයි, තාත්තයි දෙන්නම පේෂකර්ම දෙපාර්තමේන්තුවේ. අම්මා ඩිසයිනර් කෙනෙක්. තාත්තා අන්ධ ළමයින්ට රෙදි වියන්න උගන්වපු ගුරුවරයෙක්. අපි පුංචි කා‍ලේ ඉඳලාම හිටියේ කුලී ගෙවල්වල. කාලයක් අපි මහනුවර හිටියා. ඒ කා‍ලේ තමයි මට මුලින්ම දැනුණේ අපි ‘අපේ ගෙදර’ කියලා කියන ගෙදර ඇත්තටම අපේ ‍නෙවෙයි කියලා.
කවුදෝ කෙනෙක් හැම මාසෙකම වගේ ගෙදරට ආවා. ඒ කෙනා ඇවිත් ගියාට පස්සේ අම්මා පැත්තකට ගිහින් දුක් වෙනවා, ළතැවෙනවා. ඒ දේවල් ගැන අහද්දී තමයි මම දැනගත්තේ අපි ඉන්නේ කුලී ගෙදරක කියලා. කුලී ගෙවල්වල හිටියත් අපේ තාත්තා පේෂකර්මේ ඉගෙන ගන්න ආපු ළමයි පවා සල්ලි ගන්නේ නැතුවම ගෙදර නතර කරගත්තා.
අම්මා, තාත්තා මනුස්සකම උපයනු මිස සල්ලි හරිහම්බ කරනු වෛද්‍ය අරඹෙගෙදරට පුංචි වයසේදි ඇස ගැටුණේ නැත.
අපේ ගෙදරත් රෙදි වියන යන්ත්‍ර තියාගෙන අන්ධ ළමයින්ව ගෙදරට පවා ගෙන්නගෙන තාත්තා ඉගැන්නුවා. ඒ කොයි තැනකදිවත් සල්ලි හුවමාරු වෙනවා මම දැක්කේ නැහැ. මනුස්සකමයි හුවමාරු වුණේ.
කලක පටන් සිතේ පිරුණු මනුස්සකම්වලින් වැඩ ගන්නට ‘දොස්තරකම’ ඔහුගේ ජීවිතයට ළංවී තිබිමද අපූරුය.
මම ඉගෙන ගත්තේ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ. ඉගෙන ගන්න වැඩවලට, ලියන්න, සින්දු කියන්න ඒ කා‍ලේ ඉඳලාම මට දක්ෂකම් තිබුණා. දොස්තර කෙනෙක් වෙනවා කියන හීනේ නම් තිබුණේ නැහැ. හොඳට ඉගෙන ගන්න වුවමනාවක් නම් තිබුණා. මම ඒලෙවල්වලට තෝරාගත්තේ නම් ජීව විද්‍යා විෂයයන්. එහෙම කළෙත් ලොකුවට බලා‍පොරොත්තු තියාගෙන නම් ‍නෙවෙයි. දවසක් රාගම ඉස්පිරිතාලෙදි මට වෙච්ච දෙයක් තමයි මාව දොස්තර කෙනෙක් කළේ.
මම ඒලෙවල් පන්තියේ හිටපු කා‍ලේ මේක වුණේ. මම රාගම ඉස්පිරිතාලෙට ගියා පිටගැස්මට බෙහෙතක් විදගන්න. උදේ අටේ ඉඳලා ‍පෝලිමේ ඉඳලා යන්තම් 12 වෙද්දි ඉස්සරහට ආවා. එතකොටම එතැන හිටපු දොස්තර නෝනා කිව්වා ‘දැනට වැඩ ඉවරයි, ආපහු ඕ.පී.ඩී. එක අරින්නේ හවස දෙකට’ කියලා. මට දෙකට ගම්පහ පන්තියකට යන්නත් තිබුණා. මම දුවලා ගිහින් දොස්තර නෝනාට විස්තරේ කිව්වාම ‘දැන් කරන්න දෙයක් නැහැ. හෙට එන්න’ කිව්වා. ටිකක් වටපිට බලලා වෙන තැනක හිටපු දෙමළ දොස්තර නෝනා කෙනෙක් ළඟට ගියාම ඒ දොස්තර නෝනා මට බෙහෙත විදගන්න ලියලා දුන්නා. මම බෙහෙත විදගෙන ඉද්දිත් මම මුලින් කතා කරපු දොස්තර නෝනා එතැනම වාඩිවෙලා නර්ස් කෙනෙක් එක්ක හිනහ වෙවී කතාව. ඒ දොස්තර නෝනා දිහා බලලා මම එදා හිතාගත්තා ‘මම කොහොම හරි දොස්තර කෙනෙක් වෙනවා’ කියලා.
සිතට දැනුණු වේදනාවෙන් උපන් සිතිවිල්ල සුදර්ශන අරඹෙගෙදර, වෛද්‍ය සුදර්ශන අරඹෙගෙදර වනතෙක්ම සිත තුළ පෙරළි කරමින් ඔහුව මෙහෙයවන්නට ඇත. පිහිට පතා එන අහිංසක අසරණයින් වෙනුවෙන් දොස්තරකමේ වගකීම අකුරටම ඉටු කරන්නට ඔහුට දිරි දෙන්නට ඇත්තේද ඒ සිතිවිල්ලමය.
මාව තේරුනේ කොළඹ වෛද්‍ය පීඨයට. අපිට විශ්වවිද්‍යා‍ලේ පටන් ගන්න තිබුණා කා‍ලේ රටේ කලබල නිසා විශ්වවිද්‍යාල වැහුවා. ඔය කා‍ලේ නිකම්ම ගෙදර ඉන්නත් බැරි නිසා හය වසරේ ඉඳලා ඕලෙවල් වෙනකල් ළමයින්ට ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි තුනම රුපියල් 60කට උගන්වන්න පටන් ගත්තා. මම ගත්තේ අඩු ගාණක් නිසා වගේම මගේ පන්තිවලට ආපු ළමයි විභාගවලට හොඳට ලකුණු ගත්ත නිසා මගේ පන්තිවලට ආපු ළමයි ටික ටික වැඩිවුණා. වෛද්‍ය විද්‍යාලෙට තේරෙද්දිත් කුලී ගෙදරක හිටපු මම වෛද්‍ය විද්‍යා‍ලේ අවුරුදු හතරෙම ඉගෙන ගන්න ගියපු වියදම සොයාගත්තේ ටියුෂන් කරලා. කවදාවත් මම ගෙදරින් සල්ලි ඉල්ලුවේ නැහැ.
ඇති හැටි තරමට ජීවිතය ඉලක්කය වෙතම ගෙන යන්නට වෙහෙසුණු ඔහු, සිය දොස්තර වගකීම් ඉටු කරන්නට පටන්ගෙන ඇත්තේ යන්නට එන්නට පාරක් තොටක් නැති දැරණියගල රෝහලෙනි.
ඒ කා‍ලේ දැරණියගලයි අද දැරණියගලයි අතරේ මහ ලොකු වෙනසක් නැහැ. දැරණියගලදි මම ක්ලීනික් එකේ ලෙඩ්ඩු බලන්න පටන් ගත්තේ උදේ පහට. මම ඒ වැඩේ එහෙම පටන් ගත්තම පස්සේ උදේ හතර හමාරේ විතර ඉඳලා ඉස්පිරිතාලෙට ලෙඩ්ඩු එනවා. ඒ සද්දෙට මටත් ඇහැරෙනවා. ඒ වෙලාව නාස්ති කරන්නේ නැතිව ලෙඩ්ඩු 300ක විතර ‍පෝලිම මම උදේ 11 වෙද්දි බලලා ඉවර කරලා 11.30ට තියෙන බස් එකේ යන්න මිනිස්සුන්ට වෙලාව හදලා දුන්නා. 11.30 බස් එක පහුවුණොත් සමහර දුර අයට යන්න විදිහක් නැති වෙන බව මම දැනගෙන හිටියා. මම හරි නීතියට, වෙලාවට  වැඩ කළා. ඒ නිසා දැරණියගල මිනිස්සු මට නමකුත් දාගත්තා ‘කණ්ණාඩියා’ හෙවත් ‘යකා මහත්තයා’ කියලා. දැරණියගල යකා දොස්තර මහත්තයා කිව්වාම ඒ පැත්තේ ඕන කෙනෙක් දන්නවා ඒ කා‍ලේ.
නීතියට වැඩ කළ යකා දොස්තර මහත්තයාට අවනීතිය එරෙහි නොවූවා නොවේ. දැරණියගල ගතවුණු තෙවැනි වසරේ යකා දොස්තර මහත්තයාව දැරණියගලින් පන්නා ගන්නට වුවමනා වුණු අතළොස්සක් නිසා කෑගල්ලට මාරුවන්නටද සිදුවී ඇත. වැඩි දවසක් යන්නට මත්තෙන්ම ‘යකා දොස්තර මහත්තයා ඕනෑ බව’ කියමින් කෑගල්ලටත් දැරණියගලින් යැවුණු ලිපි, පෙත්සම් යකා දොස්තර මහත්තයාව දැරණියගලටම ගෙන්වා ඇත්තේ ‘අලුත් දොස්තර මහත්තයකුගෙන්’ නොදැකිය හැකි තරමේ මනුස්සකම් දැරණියගල මිනිසුන්ගේ හදවත් අල්වාගෙන තිබුණු නිසයි.
අවුරුදු පහක් විතර දැරණියගල ඉඳලා වෛද්‍ය පරිපාලන විභාග සමත්වෙලා මම ටික කලක් රිජ්වේ ආර්යා ළමා රෝහ‍ලේ වැඩ කළා. මාරවිල, හලාවත, කුලියාපිටිය, දඹුල්ල, රාගම කියන රෝහල්වල තමයි මම වැඩ කරලා තියෙන්නේ. මට කවදාවත් කොළඹට වෙලා ඉන්නවත්, පිටරටකට යන්නවත් ඕන වුණේ නැහැ. පර්යන්ත රෝහල්වල පරිපාලනයට මම වැඩිපුර කැමැති වුණේ ඒ පළාත්වල ඉන්න මිනිස්සුන්ට යමක් කරන්න මගේ හිතේ තිබුණු ආසාව නිසා. තාත්තාගෙන් මම ඉගෙන ගත්ත විදිහට සල්ලිවලඩ වඩා මනුස්සකම් හරිහම්බ කරගන්න ඕන කියලා දැනුණු නිසා.
එක එක රෝහ‍ලේදී මම කරපු දේවල් වෙන් කරලා කියනවාට වඩා හොඳයි මම කරපු දේවල් කියාගෙන ගියාම. මම හැමදාම උදේට, හවසට මම වැඩ කරපු රෝහල් හැම එකකම වාට්ටු රවුමේ යනවා. ඒ යද්දි මම වාට්ටුවල හැම පහසුකමක් ගැනම සොයලා බලනවා. වැසිකිළි, වතුර, කෑම හදන තැන වගේ හැම දෙයක්ම. ගොඩක් රෝහල් වාට්ටුවල සනීපාරක්ෂාව හරිම දුර්වලයි. සමහර තැන්වල මම ම වැසිකිළි සුද්ද කරපු වෙලාවල් තියෙනවා. රෝහල්වල නඩත්තු අංශවල අය එක්ක එකතුවෙලා කැඩුණු වැසිකිළි, කානු, කොරිඩෝ, වාට්ටු අතර පාරවල් මම ම හදපු වෙලාවල් තියෙනවා. මට ඒ දේවල් කරන එක මදිකමක් නම් ‍නෙවෙයි. සමහර මගේ මිත්‍රයෝ නම් කියනවා මේ දොස්තර කෙනෙක් නොකළ යුතු ‘තුට්ටු දෙකේ’ වැඩ කියලා. දොස්තර කෙනෙක් වැසිකිළියක් හෝදන එක තුට්ටු දෙකේ වැඩක් වෙන්නේ කොහොමද? ඒ දේවල් කරන්න බැරි තරමේ ලොකුකමක් තියෙන්නේ ඕන නැහැ කියලයි මම නම් හිතන්නේ.
දොස්තර මහත්තයාගේ වගකීම අකුරටම ඉටු කරන්නටද ක්ෂණයෙන් රෝහල වෙනුවෙන්, රෝගීන් වෙනුවෙන් අවශ්‍ය ඕනෑම වගකීමක් ඉටු කරන්නට තරම් වෙනස් වන්නටද වෛද්‍ය අරඹෙගෙදර අපූරු හැකියාවක් ඇත්තෙකි.
හැම රෝහලකදිම වගේ මට උදේට ඇඳගෙන හිටපු ෂර්ට් එක මට හවසට අඳින්න බැහැ. මම වාට්ටු රවුම ගිහින් හැම තැනම බලලා එද්දි ෂර්ට් එක දාඩියෙන් තෙමිලා. ඒ තරමටම මම හැමදේම හොයලා බැලුවා. හැමදාම අමතර ෂර්ට් එකක් අරගෙනයි මම වැඩට ගියේ.
ඔහුගේ කැපවීම පුදුම හිතෙන තරමේය.
යුද්දෙ කා‍ලේ මම හිටියේ දඹුල්‍ලේ. දඹුල්ල රෝහල ගංවතුරෙන් යටවුණු කාලෙත් මම දඹුල්‍ලේ. ඒ හැම වෙලාවෙම මම රෝහ‍ලේම හිටියා. මට පුළුවන් උපරිම දේ කළා. මාරවිල පර්යන්ත රෝහ‍ලේ ඉන්න කා‍ලේ හෙද විවේකාගාරයක් වෙනුවෙන් තිබුණු පුංචි කාමරයක් නිසා අත්හැරිලා තිබුණු ගොඩනැගිල්ලක අක්ෂි වාට්ටුවක් මම හැදෙව්වා. ඒ වෙනුවෙන් ඒ හෙදියනුත් තමන්ගේ තැන වෙනස් කරලා කැප කිරීමක් කළා. අද මාරවිල රෝහ‍ලේ මාසෙකට ඇස් සැත්කම් 100ක් විතර කරනවා. දඹුල්ල, කුලියාපිටිය රෝහල්වල, රාගම පවා මම ප්‍රජාවගෙනුත් උදව් අරගෙන, රජයෙන් හැමදේම ලැබෙනවතුරු නොඉඳ ගොඩක් ප්‍රශ්න විසඳුවා. අබලන් කියලා අයින් කරලා තිබුණු ඇඳ, ටේ‍රාලී, පුටු, සූතිකාගාර ඇඳන් රෝහල්වල නඩත්තු අංශවල උදව්වෙන් මම හැදෙව්වේ ගබඩා කාමරවල රිංග රිංගා හොයලා. නඩත්තු අංශවලින් රෝහලට විය යුතු උපරිම දේ ලබලා දෙන්න මම ඉඩ හදලා දුන්නා. අදටත් මම කරපු දේවල්වලින් මම හිටපු රෝහල්වල දැන් ඉන්න අය ප්‍රයෝජන ගන්නවා.
ටොයිලට් හදලා, ගොඩනැගිලි හදවලා, වතුර ප්‍රශ්න, සායනවල ප්‍රශ්න විසඳලා මට ඕනවුණේ කැපී පෙනෙන්න ‍නෙවෙයි. මම කරන දේවල් අහලා දැකලා අලුතෙන් එන දොස්තර මහත්වරු අලුතෙන්ම හිතන්න පුරුදු වෙනවාටයි මම කැමැති. දොස්තරකම  කියන්නේ වෙද නළාව කරේ දාගන්න එකම ‍නෙවෙයි, මිනිස්සු වෙනුවෙන් වැඩ කරන එක. වෛද්‍ය සුදර්ශන අරඹෙගෙදරට වුවමනා හොඳම දොස්තර මහත්තයා වන්නට නොව, හොඳ දොස්තර මහත්වරු තනන්නටය.
මම වගේ අය තවත් බිහිවෙනවාටයි මම කැමැති. මම ටිකක් සැරයි. ඒත් ඒ මිනිස්සුන්ට හරියට සේවය නොකරන අයට. මගේ ගෙදරින්, බිරිඳගෙන්, දුවගෙන් මට ලැබෙන ඇගැයුමත්, ප්‍රතිචාරත් මට තව තවත් හොඳ දොස්තර මහත්තයෙක් වෙන්නත් හරි වටිනවා කියලත් කියන්නම ඕන. ඔහු පුදුම දොස්තර මහත්මයෙකි. තමන් පරදන්නට තවකෙකු එන ගමන දරාගත නොහී හරස් කපන බොහෝ අය අතරේ ඔහුගේ නම් කැමැත්ත ඔහු වන් පුදුම දොස්තර මහතුන් තව තවත් සිටිනවා දැකීමය. කතාබහ ඇරඹුමේදී සේම අවසනදී ද ඔහු අපව පුදුම කළේ ඒ කතාවෙනි.
මම වැඩ කරන විදිහට තවත් අය වැඩ කරවන්නයි මට ඕන ඔහු යළි යළිත් කීවේය.

Friday, March 10, 2017

පාට පාට කුඩ අව්වට ඉහලීමේ අවදානම ඔබ දන්නවාද ?


හැබැයි මේ වගේ සිදුවීම්වලට බොහෝ වෙලාවට හේතු වෙන්නේ අපට හිමිවෙලා තිබෙන දෛවය. ඇත්තටම මේ, දෛවය කියන දේ එක් එක්කෙනාට විවිධ විදිහට බලපෑම් ඇති කළාට සමහර වෙලාවට ඊට එරෙහිව යන්නට අපට පුළුවන් කමක් ඇත්තේ නැහැ. එහෙම හිතලා බලනකොට නම් දෛවය කියලා කියන්නේ මහා පුදුමකාර දෙයක්. සම්පුර්ණ ලිපිය කියවන්න…


ඇත්තටම කුඬේකට කෙනෙකුගේ දෛවය වෙනස් කරන්න පුළුවන් කියලා ඔබ හිතනවාද? පෙර සඳහන් කළ සිදුවීමත් ඒ වගේ දෙයක් තමයි. නමුත් සමහර වෙලාවටට අපි ඒ තරම් හිතලා නොබැලූවාට අද සමාජයේ ඉන්න බොහෝදෙනෙක් පාවිච්චි කරන කුඩ නිසා බොහෝ දෙනෙක්ගේ සෞඛ්‍යයට නම් එතරම් හොඳක් සිද්ධ වෙන්නේ නැති බවයි වෛද්‍ය මතය වෙලා තියෙන්නේ.

පාට පාට කුඩ, මල් මල් කුඩ, විවිධ රටා වලට, විවිධ හැඩතලවලට, දැඩි අලංකාරය නිසා ඇස් නිලංකාර වේලා යන මට්ටමට කුඩ වර්ග මිලදී ගන්න අපි කවුරුත් කැමතියිනේ. ඒ වුණත් කෝකටත් හොඳයි, කුණු ගෑවෙන්නෙත් නෑනේ කියලා තවත් සමහර අය කළු කුඩ විතරක්ම පාවිච්චි කරනවා. මේ එක එක ජාතියේ කුඩ වර්ග අතරේ ඔබ වඩාත් කැමති කුමන කුඩයකට වුණත් වැස්ස වහින වෙලාවට වඩා අව්ව පායන කොට නම් කුඩයක් ඉහළන කොට තරමක් පරිස්සම් වුණොත් හොඳයි.

ඒකට හේතුව තමයි අපි පාවිච්චි කරන කුඩවල රෙද්ද බොහෝ වෙලාවට තුනී නිසා ඒ හරහා අහිතකර සූර්ය කිරණ එහෙමත් නැත්නම් පාරජම්බුල කිරන ගමන් කරන්නට පුළුවන්. ඒ නිසා අපේ සමට එවැනි අහිතකර සූර්ය කිරණවලින් තර්ජනයක් ඇති වෙන්නත් පුළුවන්. එහෙනම් මොන විදිහට ද අපි කුඩයක් තෝරා ගන්න ඕන කියලා ඊළගට ඔබට හිතෙනවා ඇති. ඇත්තටම කුඩයක් ගන්න කොට ඒ කුඩ පාරජම්බුල කිරණ පරාවර්තනය කරන ඒවාද නැද්ද කියලා හොඳට හොයලා බලන්න ඕන.

හිරු කිරණ පරාවර්තනය කරන්නට පුළුවන් මේ කුඩවල රෙද්ද හොඳ ඝනකමින් යුක්ත වෙනවා. ඒ විතරක්ම නෙමෙයි මතුපිට අළු පාටින් ද කුඩය අතුල් පැත්ත කළු පාටින් ද යුක්ත නිසා ඒවා හොයාගන්න අමාරු වෙන එකකක් නෑ. ඒ හින්දා මීට පස්සේ නම් කුඩයක් පාවිච්චි කරන කොට කුඬේ තියෙන ලස්සන විතරක් නෙමෙයි. සෞඛ්‍යටත් හිතකරද කියලා බලන්නත් මතක තියාගන්නත් ඕන.

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි.

Monday, March 6, 2017

ඔබේ සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය අඩු වෙලානම් මෙන්න මේ ලක්ෂණ ඔබට දැක ගන්නට පුළුවන්




ප්‍රෝටීන් නමැති පෝෂ්‍ය පදාර්ථය අපේ සිරුරේ පෝෂණයට ඉතාම වැදගත් වෙනවා. එමගින් ශරීරයට අවශ්‍ය ශක්තිය ලබාදෙන අතර ශරීරය ප්‍රකෘතිමත් කර තෘප්තිමත් භාවයක් ලබා දෙනවා. ප්‍රෝටින්වල ඇමයිනෝ අම්ල අඩංගු වන අතර පේෂී වර්ධනයට වැදගත් වෙනවා. මිනිස් සිරුරේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා ඇමයිනෝ අම්ල 20 න් 11 ක්ම මිනිස් සිරුර තුළම නිෂ්පාදනය කරගත යුතු වෙනවා. ඒ අනුව පැහැදිළි වනවා අනෙකුත් ඇමයිනෝ අම්ල 9 ම ආහාර මගින් සිරුර තුළට ලබාගත යුතු බව.
ඔබ පහත සඳහන් ලක්ෂණ සහිත අයෙක් නම් ඔබේ සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ඔබ ලබාගන්නේ නැහැ. එම තත්වය දරුණු සෞඛ්‍ය අවදානමක් දක්වා දුර දිග යා හැකියි.
නිතරම පවතින කුසගින්න.
ඔබ ප්‍රමාණවත් ප්‍රෝටීන් ප්‍රමාණයක් ආහාරයට ගන්නේ නැත්නම් ඔබට නිරතුරුවම පවතින කුසගින්නක් දැනෙනවා ඇති. ඔබට සරින් සැරේ අහාර ගැනීමට මේ නිසා සිදු වනවා ඇති. මේ ආකාරයට ඔබ නිතර අහාර ගැනීමට ගියොත් වැඩි කල් නොගොස් අධික තරබාරුව ඇති වී විවිධ අපහසුතාවන්ට මුහුණ දීමට වේවි.
නිරන්තරව ඇති වන මස්පි~ු වේදනාව
ඔබේ මස්පි~ුවලට ඉතා තියුණු වේදනාවක් නිතර නිතර දැනෙනවාද? එසේත් නැතහොත් ඔබේ මස්පි~ුවලට අධික වෙහෙසකාරී බවක් දැනෙනවාද? මෙයට හේතුව ප්‍රෝටීන් මදිකම නිසා මස්පි~ු අධික ලෙස වෙහෙසීම නිසා ඇති වන තත්වයයි.
තුවාල සුව වීමට කල් ගත වීම.
සිරුරේ නව සෛල නිර්මාණය වීමට හා සම පහසුවෙන් පුනර්ජනනය වීමට ප්‍රෝටීන් ඉතාම වැදගත් සාධකයක්. මේ නිසා ඔබට ප්‍රෝටීන් හිඟතාවයක් තියනවා නම් ඔබේ තුවාල සුව වීමට වැඩි කාලයක් ගත වේවි.
ඔබට පවතින්නේ පහසුවෙන් කැඩී යා හැකි හිසකෙස් හා නියපොතුද? කොරල සහිත සමක්ද?
හිසකෙස් ගැලවී යාම වැඩි නම්, නියපොතු නිතර කැඩී යනවානම්, ඒ වගේම සම කොරල සහිත හෝ හමයන තත්වයක් සහිත නම් ඔබේ සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය නොලැඛෙන බව ඔබට හොඳින් තහවුරු කර ගැනීමට පුළුවන්.
සිරුරේ දියරමය ස්වභාවය ඉහළ යාම.
සිරුරේ දියර මට්ටම වැඩි නම් ඔබේ වළලූ‍කර සහ පාදයට මහත් අපහසුවක් දැනෙනවා ඇති. ඇතැම්විට වේදනාවක්ද දැනෙනවා ඇති. මේ තත්වයට ප්‍රධාන හේතුවක් වන්නේ ප්‍රෝටීන් හිඟකමයි.
නිතර වැළඬෙන අසනීප තත්වය
නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන ප්‍රතිශක්තිකරණ පද්ධතියකට ප්‍රධාන දායකත්වය සපයනුයේ ප්‍රෝටීන් පදාර්ථයි. ඒ අනුව ප්‍රෝටීන් පෝෂ්‍ය පදාර්ථ අඩුවීම මගින් වයිරස් සහ බැක්ටීරියා අසාදන වලට එරෙහිව ඔබේ සිරුරේ ක්‍රියාත්මක වන ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය අඩපණ වෙනවා.
ඔබේ මානසික ඒකාග්‍රතාවය අඩුවීම
නිතරම ඔබේ මානසික ඒකාග්‍රතාවය සහ මානසික සහනය අඩු වනවා නම් එය ප්‍රෝටීන් ඌණතාවයේ ලක්ෂණයක් ලෙස හඳුන්වන්න පුළුවන්.
සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම ඕනෑම පුද්ගලයෙකුට ඇති විය හැකියි. මේ තත්වය මගහරවා ගැනීම සඳහා පවතින විසඳුම වන්නේ සමබර හා යෝග්‍ය අහරවේලක් ලබාගැනීමයි. නිසි පෝෂණ සත්කාරයක් ලබාගැනීමට නම් ඔබේ සිරුරේ බරෙන් රාත්තලකට 0.36 ට ක් බැගින් වන ප්‍රෝටීන් ප්‍රමාණයක් දිනකට ලබාගත යුතු වනවා. ඒ අනුව රාත්තල් 150 ක් පමණ බරකින් යුතු පුද්ගලයෙකු දිනකට ප්‍රෝටීන් ග්‍රෑම් 55 ක ප්‍රමාණයක් අහරවේලට එකතු කරගත යුතුයි.
හොඳම ප්‍රෝටීන් අන්තර්ගත ආහාරයන් ලෙස හැඳින්විය හැක්කේ බිත්තර, මස්, ඕට්ස්, පලතුරු, එළවළු, සෝයා සහ කිරි වර්ගයි. ඒ වගේම ඔබට ප්‍රෝටීන් වැඩිපුර ලබාගත හැකි අතිරේක ආහාරමය ද්‍රවයයන්ද තෝරාගත හැකියි. ආහාරමය වශයෙන් ප්‍රෝටීන් වැඩිපුර ලබාගැනීමෙන් ඉතා සාර්ථකව ඔබේ ප්‍රෝටීන් ඌණතාවය මගහරවා ගැනීමට කටයුතු කිරීම ඔබේ සෞඛ්‍යයට ඉතාම හිතකරයි.

නිවුන් දරුවන් පතන නතාෂා පෙරේරා


නතාෂා පෙරේරා තමන්ගේ පවුල් ජීවිතය සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතක් සමග කළ සාකච්ඡාවකදී නිවුන් දරුවන්ට කැමැති බව සඳහන් කර තිබෙනවා.
තම සැමියා වන ප්‍රිහාන්ගේ පවු‍ලේ නිවුන් සහෝදරයකුත්, සහෝදරියකුත් සිටින නිසා තමන්ද නිවුන් දරුවන්ට කැමති බවයි ඇය සඳහන් කර ඇත්තේ.
“තාම අපි ජීවිතේ පටන් ගත්තා විතරයි. ඒ නිසා හරි වෙලාවෙදි ඒ ආසාවත් ඉෂ්ට කර ගන්නවා.”යනුවෙන්ද ඇය එහිදී සඳහන් කර තිබුණා.

Saturday, March 4, 2017

ඔබගේ facebook ගිණුම ආරක්ෂිතද ? හැකර්ස්ලගෙන් ආරක්ෂා වෙන්න මෙන්න විසදුම්

 බොහෝ දෙනෙක් Facebook සමාජ ජාල වෙබ් අඩවිය හරහා නොයෙකුත් කැළඹීම් කළ අවස්ථා කොතෙකුත් අසන්නට ලැබුනත් තම තමන්ගේ Facebook ගිණුම් ආරක්ෂා කර ගැනීමට තමා සතුව විශාල වගකීමක් ඇත. පසුගිය දින වල  අප රටේ ජනාධිපතිතුමන්ගේ Facebook  වෙබ් අඩවියට පවා ඇතුළු වී සටහන් තැබූ ශිෂ්‍යයකු පිළිබඳවද වාර්තා විය. රටේ ප්‍රධානියකුගේ  සමාජ ජාලා වෙබ් අඩවියක් පවා අනාරක්ෂිත වූ කල ඔබ අපගේ සමාජ ජාල වෙබ් අඩවි පිළිබඳව කවර කථාද ?  අද Womanly.lk තුලින් මා ඔබට කියන්නට යන්නේද ඔබගේ Facebook අඩවිය ආරක්ෂිත කර ගැනීම සඳහා ඔබට අනුගමනය කළ හැකි පියවර කිහිපයක් පිළිබඳවය.
එසේ නම් මෙම පියවර අනුව යමින් ඔබත් ඔබේ Facebook ගිණුම මෙන්ම ඔබේ නමද ආරක්ෂා කර ගැනීමට වග බලා ගන්න.
ආරක්ෂිත Password එකක්
Settings > General > Password 
ඔබ ඔබගේ facebook ගිණුමෙහි ආරක්ෂාව සඳහා වෙන් කරන ලද Password එක ශක්තිමත් වගේම ආරක්ෂාකාරී Password එකක් කර ගන්න වග බලා ගන්න. ඔබ යොදන Password එක සඳහා  අකුරු , අංක වගේම @,#,? වැනි සංකේතත් යොදා ගන්න. සමහර හැකර්ස්ලා facebook ගිණුමට ඇතුළු වෙන්න බැරි නම් ඔබගේ අනෙකුත් සයිට්  හැක් කරන්න මාන බලාවි. ඒ නිසා එකම password එක හැම සයිට් එකටම යොදා ගන්න එපා. ඒ විතරක් නෙමෙයි කිසිම විටෙක ඔබේ කිසිම සයිට් එකක password අන් අයට ලබා නොදී ඉන්න තරමට ඔබ වගේම ඔබේ හැම සයිට් එකක්ම ආරක්ෂාකාරී වේවි.
    Login Alert On කරන්න
   Settings > Security > Login Alert > Text Message
ඔබ හැර ඔබේ Facebook ගිණුමට කවුරුන් හෝ ඇතුළු වුනොත් එය ඔබගේ ජංගම දුරකථන හරහා ඔබට කෙටි පණිවුඩයක් මගින් දන්වාවි. හැබැයි ඔයාට එහෙම දැන ගන්න පුළුවන් වෙන්නෙ මම ඉහත සඳහන් කල පියවර ඔස්සෙ Log Alert  සේවාව on කළොත් විතරයි. ඒ නිසා ඔබත් ඔබේ Facebook සයිට් එකේ Log Alert සේවාව දැන්ම ආරම්භ කරන්න. එය ඔබ අප කාටත් ඉතා ආරක්ෂාකාරී පියවරක් වේවි.
    Login Approvals සේවාව On කරන්න
   More > Settings > Security >  Login Approvals >>> On
ඔයා ඔයාගෙ Facebook ගිණුමට ඇතුළු වන Device එක හැරුණු කොට අලුත් Device එකකින්  ඔයාගෙ ගිණුමට ලොග් වෙද්දි ඔයාගෙ Phone එකට  කෝඩ් එකක් එවාවි. ඔයාගෙ Phone එකෙන් හැර වෙන කිසිම Phone එකකින් ඔයාගෙ ගිණුමට ඇතුළු වෙන්න කාටවත් බෑ. ඒ නිසා ඔබත් දැන්ම Login Approvals On  කර ගන්න ඉහත පියවර අනුගමනය කරන්න.
    Active Sessions බලා ගන්න
More > Settings > Security > Active Sessions 
මෙම සේවාව මගින් ඔයාට පුළුවන් ඔයාට හොරා ඔයාගෙ Facebook ගිණුමට වෙන කවුරුන් හෝ ඇතුළු වෙනවද ඒ ඇතුළු වෙන කෙනා ආවේ කොහෙන්ද කියලා බලා ගන්න. ටෙලිෆෝන් ටවර්  තියෙන තැන ඒකෙදි ඔයාට පෙන්වනවා. ඉතින් එහෙනම් හොරා කවුද කොහේ කෙනෙක්ද කියලා බලා ගන්න ඔයත් ඉහත කියූ ආකාරයට Active Sessions සේවාව On කර ගන්න.

    Password අමතකද ?
More > Settings > Security > Trusted Contacts > Add Friends
බැරි වෙලාවත් ඔයාට ඔයාගෙ Account එකේ Password අමතක වුනොත් මොකද කරන්නෙ කියලා හිතුවද ?. එහෙනම් ඔයාට පුළුවන් ඔයාගෙ හොඳම යාලුවො කීප දෙනෙක් ඔයාගෙ උදව්වට තියා ගන්න. ඔයාගෙ ගිණුම  නැවත සක්‍රීය කර ගන්න මම ඉහල සඳහන් කර පියවර ඔස්සෙ ඔයාට    විශ්වාසවන්ත ඔයාගෙ හොඳම යාලුවො 3ක් ඒකට Add කර ගන්න.
• Link  Click  කරන්නෙ බලාගෙන
ඔයාට සමහර     වෙලාවට එක එක අය එක එක ඒවා කියලා Link  එවන්න පුළුවන්. ඒ Link Click කරන්න කලින් ටිකක් හොඳට බලන්න. මොකද හැකර්ස්ලා ඔයාගෙ Password උස්සන්නත් එක එක බොරු කියලා Link එවනවා. ඒ නිසා ඔය නාදුනන අය එවන කිසිම දෙයක් Click  කරන්න යන්න එපා. එහෙම වුනොත් ඒකෙන් අමාරුවේ වැටෙන්නෙ ඔයාම තමයි.
•  Fake  URL
සමහර සයිට් වල තියෙන Facebook Button එක හරහා යද්දි එයාලා හොර සයිට් එකකට යනවා. බැලූ බැල්මට Facebook සයිට් එක වගේමයි. URL එක www.facebook.com ද කියලා Log වෙන්න කලින් හොඳට බලන්න. මොකද එහෙම නොදැන Log වුනොත් ඔයාගෙ password පිට  යන්න පුළුවන්.
    ගිණුමෙන් ඉවත් වෙද්දි Logout වෙන්න
ඔයා වෙන Computer එකකින් හරි Phone එකකින් හරි ඔයාගෙ Facebook ගිණුමට ලොග් වුනොත් අමතක නොකර එම ගිණුමෙන් logout වෙන්න. මොකද එහෙම නැති නම් ඒක ඔයාට ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා.
ඉතින් මම මේ කියපු   පියවර අනුව ඔබත් ඔබගේ Facebook ගිණුම හැකර්ස්ලගෙන් ආරක්ෂා කර  ගැනීමට අවශ්‍ය ලෙස අදම සකස් කර ගන්න.
වැදගත් කියලා හිතෙනවනම් අනිත් යාළුවොන්ටත් බලන්න share කරන්න.

වේගයෙන් හිස කෙස් වවා ගමුද? මෙන්න අදහාගන්න බැරි විස්මිත අත්බෙහෙත්

කෙස් කළඹ කාන්තාවන්ගේ සුන්දරත්වය ඉස්මතු කරන ප‍‍්‍රධාන අංගයක් කියලා ඔයාලා දන්නවනේ. නමුත් කෙස් කළඹ ආකර්ෂණය පෙනුමක් ඇති කලත් එය පවත්වාගෙන යාම සහ ගැටළු නිමක් නැනේ. කෙස් පිළිබද සුලබ ගැටළු කීපයක් නියෙනවා. හිසකෙස් වර්ධනය අඩු වීම, වියළි හිස්කබල, කෙස් සුදුවීම සහ හිස්සොරි මින් ප‍‍්‍රධාන වේ.
ඔන්න අද අපි කියලා දෙන්නේ කරපිංචා යොදාගෙන කෙස් කලඹට පෝෂණයක් ලබාදෙන සරල නමුත් විශ්මිත ක්‍‍්‍රම කීපයක් ගැන.
ඉස්සෙල්ලම බලමු කරපිංචා වල ගුණ ගැන.
කරපිංචා ඔබගේ කෙස් නීරෝගී සම්පන්නව වර්ධනය සඳහා අතවශ්‍ය වන බොහෝ පෝෂක අඩංගු වේ. එහි අඩංගු ඇමයිනෝ අම්ල හා ප‍‍්‍රතිඔක්සිකාරක මගින් කෙස් වැටීම අඩු කර කෙස් ශක්තිමත් කරයි. ඇමයිනෝ අම්ල කොණ්ඩය තුනී වීමද අඩු කරයි. කරපිංචා වල අඩංගු බීටා* කැරොටින් සහ ප්‍රෝටීන ද පෝෂණය ලබා දෙමින් , කේශ වැටීම වලක්වයි.
හිස කෙස් වලට කරපිංචාවල බලපෑම
1) හිස කෙස් වැටීම වලක්වයි.
2) හිස කෙස් මුල් ප‍‍්‍රතියුවීකරණය කරයි. හානිවූ කෙස් අලූත්වැඩියා කර ශක්තිමත් කරයි.
කරපිංචා ෂැම්පු
* කරපිංචා කොළ කෝප්ප භාගයක්
* වතුර කෝප්පයක්
විනාඩි 2ක් වතුර මද ගින්නේ රත්කර ගන්න.
කරපිංචා එකතුකර දිගටම රත් කරන්න. එවිට වතුර කොළ පාට වී කරපිංචා කොළ මෘදු වේ.
දැන් මෙය නිවෙන්නට හැර පෙරා ගන්න.
මෙම ජලය හිසේ ආලේප කර විනාඩි 15 – 20ක් මසාජ් කරන්න,
සතියට දෙවරක් මෙලෙස කරන්න. කෙස් වැටීම අඩුවී කෙස් වර්ධනය ඉක්මන් වේ.
කරපිංචා සහ කොහොඹ
* කරපිංචා කොළ 7 – 8
* කොහොඹ කොළ 7 – 8
* සියඹලා කුඩු තේ හැදී 3
* යෝගට් තේ හැදී 3
සියලූ දේ බ්ලෙන්ඩරයට දමා හොදින් අබරා ගන්න. මෙම පල්පය හිසේ ගලවා මසාජ් කර විනාඩි 20 සිටින්න. මෘදු ෂැම්පු එකකින් සෝදා හරින්න. හිස සෝදන විට පාවිච්චි කරන්න. මසකින් හොද ප‍්‍රතිපල ලබා ගත හැකියි.
කරපිංචා සහ උළුහාල්
* කරපිංචා කොළ කෝප්ප භාගයක්
* උළුහාල් මේස හැදී 2
* වතුර කෝප්පක්
සියලූ දේ බ්ලෙන්ඩරයට දමා හොදින් අබරා ගන්න. මෙම පල්පය හිසේ ගලවා පැය 2ක් සිටින්න. මද උණු වතුරින් සෝදා හරින්න . අවශ්‍ය නම් මෘදු ෂැම්පු එකක් පාවිච්චි කරන්න. සතියකට වරක් මෙසේ කිරීමෙන් දිදුලන නිරෝගී කෙස් කළබක් ලබා ගත හැකියි.
කරපිංචා තෙල් එකක් ලෙස
* පොල් තෙල් කෝප්පක්
* කරපිංචා කොළ 7 – 8
කුඩා කෝප්පයකට පොල්තෙල් සහ කරපිංචා දමා එම කෝප්පය වතුර පිරවූ ලොකු කෝප්පයක මත තබා ලිපේ තබා රත් කරන්න. පොල්තෙල් කොළ පාට වෙනකම් මෙහෙම රත්කරන්න. කලූපාට අවශේෂ ඉතුරුවුනත් එයද හිසේ අලේප කරන්න ගන්න. සතියට දෙවරක් පාවිච්චි කිරීමෙන් සුදු කෙස්, කෙස් වැටීම සහ හිස්සොරි කරදර නැති කරගන්න පුළුවන්.
මේ හැම දේටම අමතරව ඔයාලට කරපිංචා ආහාර වලට එක් කිරීම මගින්ද ගුණ ශරීරයට එකතු කර ගන්න පුළුවන්.