රජයේ කන්තෝරු දොර අගුල් ලා වැසෙන ‘රජයේ නිවාඩු’ දිනයක රජයේ කන්තෝරුවකට මම කැඳවුම් ලැබිමි. කතාබහකට කළ ඉල්ලීමකට ලැබුණු මේ ඉඩ පුදුමයෙන් නමුදු මම පිළිගතිමි.
කැඳවුම ලැබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයටයි.
පුදුමය ඇති කරවමින් අප කැඳවූයේ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සුදර්ශන අරඹෙගෙදරයි.
පුදුමය ඇති කරවමින් අප කැඳවූයේ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සුදර්ශන අරඹෙගෙදරයි.
පුදුම වෙන්න ඇති නේද නිවාඩු දවසක ඔෆිස් එකටම එන්න කිව්වම ඔහු මගේ සිතේ තවමත් ඉතිරිව තිබුණු පුදුමය හැඳින්නේය.
ඒ මගේ හැටි. මම නිවාඩු දවසටත් වැඩ. මම වැඩ කරන්නේ නිවාඩු දවස් අත්හැර අත්හැර වැඩ කරන්න පුළුවන් තැනක නෙවෙයිනේ. ලෙඩ්ඩුන්ගේ ජීවිතත් එක්කයි අපි වැඩ කරන්නේ ඔහු කියාගෙන ගියේය.
ඔහුගේ ඒ කතාව නැවත මගේ සිතට පුදුමයක්ම ගෙන ආවේය.
මෙච්චර වැඩ වැඩි කෙනෙක් කොහොමද සින්දු ලියන්නේ, සින්දු කියන්නේ? එතකොට තමන්ගේ අත්දැකීම් ලියන බ්ලොග් පිටුවක් කරන්නේ?
මෙච්චර වැඩ වැඩි කෙනෙක් කොහොමද සින්දු ලියන්නේ, සින්දු කියන්නේ? එතකොට තමන්ගේ අත්දැකීම් ලියන බ්ලොග් පිටුවක් කරන්නේ?
මගේ සිතට දැනුණු පුදුමය මම එසේ වචන බවට පත් කළෙමි. අප ඔහු හමුවන්නට වෙලාවක් සෙවූ නිමිත්තද ඒ වචනවලටද ගැට ගැසීමි.
ඕනම කෙනකුට තමන් කැමැති දේවල් කරන්න වෙලාව නැති වෙන්න බැහැනේ. මම වෛද්‍ය සැපයුම් අංශයේ රාජකාරියට ඇවිත් දැන් මාස දහයකට කිට්ටුයි. වගකීම් වැඩියි. වැඩත් වැඩියි. එහෙම කියලා මගේ ගෙදර වෙනුවෙන් මම වෙන් කරන වෙලාවයි, ලියන්න මම වෙන්කරන වෙලාවයි මම අඩු කරලා නැහැ. සමහරු පුදුම වෙන්න පුළුවන් දොස්තර මහත්තයෙක් සින්දු ලියලා, ගායනා කරනවා කිව්වාම. හැබැයි මේ දොස්තර එහෙම තමයි. සින්දු ලියන, සින්දු කියන දොස්තර මහත්තයෙක්.
දොස්තර මහත්තයාගේ කතාව පිරී ඇත්තේ ‘පුදුම’ වලින්මය. කලාවට බර සිතක් ඇති මේ දොස්තර මහත්තයාගේ දොස්තර ජීවිතයද ඒ පුදුමයන්ගෙන් අඩුවක් නැති බව ඔහුම ලියන බ්ලොග් ලියුම්වලින් කියැවෙන්නේය. පුදුමය පිරුණු කතා මල්ල ලෙහන්නට ඔහුගේ කතාව ගමෙන්ම පටන් ගන්නට මම කල්පනා කළෙමි.
මගේ ගම කොහේද කියලා ඇහුවොත් මම කියන්නේ බළන්ගොඩ කියලා. මගේ අම්මා අදටත් ඉන්නෙත් අපේ මහගෙදර, තියෙන්නෙත් බළන්ගොඩ. මම ඉපදුණේ නම් ජාඇල කපුවත්තේ. අම්මයි, තාත්තයි දෙන්නම පේෂකර්ම දෙපාර්තමේන්තුවේ. අම්මා ඩිසයිනර් කෙනෙක්. තාත්තා අන්ධ ළමයින්ට රෙදි වියන්න උගන්වපු ගුරුවරයෙක්. අපි පුංචි කාලේ ඉඳලාම හිටියේ කුලී ගෙවල්වල. කාලයක් අපි මහනුවර හිටියා. ඒ කාලේ තමයි මට මුලින්ම දැනුණේ අපි ‘අපේ ගෙදර’ කියලා කියන ගෙදර ඇත්තටම අපේ නෙවෙයි කියලා.
කවුදෝ කෙනෙක් හැම මාසෙකම වගේ ගෙදරට ආවා. ඒ කෙනා ඇවිත් ගියාට පස්සේ අම්මා පැත්තකට ගිහින් දුක් වෙනවා, ළතැවෙනවා. ඒ දේවල් ගැන අහද්දී තමයි මම දැනගත්තේ අපි ඉන්නේ කුලී ගෙදරක කියලා. කුලී ගෙවල්වල හිටියත් අපේ තාත්තා පේෂකර්මේ ඉගෙන ගන්න ආපු ළමයි පවා සල්ලි ගන්නේ නැතුවම ගෙදර නතර කරගත්තා.
අම්මා, තාත්තා මනුස්සකම උපයනු මිස සල්ලි හරිහම්බ කරනු වෛද්‍ය අරඹෙගෙදරට පුංචි වයසේදි ඇස ගැටුණේ නැත.
අපේ ගෙදරත් රෙදි වියන යන්ත්‍ර තියාගෙන අන්ධ ළමයින්ව ගෙදරට පවා ගෙන්නගෙන තාත්තා ඉගැන්නුවා. ඒ කොයි තැනකදිවත් සල්ලි හුවමාරු වෙනවා මම දැක්කේ නැහැ. මනුස්සකමයි හුවමාරු වුණේ.
කලක පටන් සිතේ පිරුණු මනුස්සකම්වලින් වැඩ ගන්නට ‘දොස්තරකම’ ඔහුගේ ජීවිතයට ළංවී තිබිමද අපූරුය.
මම ඉගෙන ගත්තේ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ. ඉගෙන ගන්න වැඩවලට, ලියන්න, සින්දු කියන්න ඒ කාලේ ඉඳලාම මට දක්ෂකම් තිබුණා. දොස්තර කෙනෙක් වෙනවා කියන හීනේ නම් තිබුණේ නැහැ. හොඳට ඉගෙන ගන්න වුවමනාවක් නම් තිබුණා. මම ඒලෙවල්වලට තෝරාගත්තේ නම් ජීව විද්‍යා විෂයයන්. එහෙම කළෙත් ලොකුවට බලාපොරොත්තු තියාගෙන නම් නෙවෙයි. දවසක් රාගම ඉස්පිරිතාලෙදි මට වෙච්ච දෙයක් තමයි මාව දොස්තර කෙනෙක් කළේ.
මම ඒලෙවල් පන්තියේ හිටපු කාලේ මේක වුණේ. මම රාගම ඉස්පිරිතාලෙට ගියා පිටගැස්මට බෙහෙතක් විදගන්න. උදේ අටේ ඉඳලා පෝලිමේ ඉඳලා යන්තම් 12 වෙද්දි ඉස්සරහට ආවා. එතකොටම එතැන හිටපු දොස්තර නෝනා කිව්වා ‘දැනට වැඩ ඉවරයි, ආපහු ඕ.පී.ඩී. එක අරින්නේ හවස දෙකට’ කියලා. මට දෙකට ගම්පහ පන්තියකට යන්නත් තිබුණා. මම දුවලා ගිහින් දොස්තර නෝනාට විස්තරේ කිව්වාම ‘දැන් කරන්න දෙයක් නැහැ. හෙට එන්න’ කිව්වා. ටිකක් වටපිට බලලා වෙන තැනක හිටපු දෙමළ දොස්තර නෝනා කෙනෙක් ළඟට ගියාම ඒ දොස්තර නෝනා මට බෙහෙත විදගන්න ලියලා දුන්නා. මම බෙහෙත විදගෙන ඉද්දිත් මම මුලින් කතා කරපු දොස්තර නෝනා එතැනම වාඩිවෙලා නර්ස් කෙනෙක් එක්ක හිනහ වෙවී කතාව. ඒ දොස්තර නෝනා දිහා බලලා මම එදා හිතාගත්තා ‘මම කොහොම හරි දොස්තර කෙනෙක් වෙනවා’ කියලා.
සිතට දැනුණු වේදනාවෙන් උපන් සිතිවිල්ල සුදර්ශන අරඹෙගෙදර, වෛද්‍ය සුදර්ශන අරඹෙගෙදර වනතෙක්ම සිත තුළ පෙරළි කරමින් ඔහුව මෙහෙයවන්නට ඇත. පිහිට පතා එන අහිංසක අසරණයින් වෙනුවෙන් දොස්තරකමේ වගකීම අකුරටම ඉටු කරන්නට ඔහුට දිරි දෙන්නට ඇත්තේද ඒ සිතිවිල්ලමය.
මාව තේරුනේ කොළඹ වෛද්‍ය පීඨයට. අපිට විශ්වවිද්‍යාලේ පටන් ගන්න තිබුණා කාලේ රටේ කලබල නිසා විශ්වවිද්‍යාල වැහුවා. ඔය කාලේ නිකම්ම ගෙදර ඉන්නත් බැරි නිසා හය වසරේ ඉඳලා ඕලෙවල් වෙනකල් ළමයින්ට ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි තුනම රුපියල් 60කට උගන්වන්න පටන් ගත්තා. මම ගත්තේ අඩු ගාණක් නිසා වගේම මගේ පන්තිවලට ආපු ළමයි විභාගවලට හොඳට ලකුණු ගත්ත නිසා මගේ පන්තිවලට ආපු ළමයි ටික ටික වැඩිවුණා. වෛද්‍ය විද්‍යාලෙට තේරෙද්දිත් කුලී ගෙදරක හිටපු මම වෛද්‍ය විද්‍යාලේ අවුරුදු හතරෙම ඉගෙන ගන්න ගියපු වියදම සොයාගත්තේ ටියුෂන් කරලා. කවදාවත් මම ගෙදරින් සල්ලි ඉල්ලුවේ නැහැ.
ඇති හැටි තරමට ජීවිතය ඉලක්කය වෙතම ගෙන යන්නට වෙහෙසුණු ඔහු, සිය දොස්තර වගකීම් ඉටු කරන්නට පටන්ගෙන ඇත්තේ යන්නට එන්නට පාරක් තොටක් නැති දැරණියගල රෝහලෙනි.
ඒ කාලේ දැරණියගලයි අද දැරණියගලයි අතරේ මහ ලොකු වෙනසක් නැහැ. දැරණියගලදි මම ක්ලීනික් එකේ ලෙඩ්ඩු බලන්න පටන් ගත්තේ උදේ පහට. මම ඒ වැඩේ එහෙම පටන් ගත්තම පස්සේ උදේ හතර හමාරේ විතර ඉඳලා ඉස්පිරිතාලෙට ලෙඩ්ඩු එනවා. ඒ සද්දෙට මටත් ඇහැරෙනවා. ඒ වෙලාව නාස්ති කරන්නේ නැතිව ලෙඩ්ඩු 300ක විතර පෝලිම මම උදේ 11 වෙද්දි බලලා ඉවර කරලා 11.30ට තියෙන බස් එකේ යන්න මිනිස්සුන්ට වෙලාව හදලා දුන්නා. 11.30 බස් එක පහුවුණොත් සමහර දුර අයට යන්න විදිහක් නැති වෙන බව මම දැනගෙන හිටියා. මම හරි නීතියට, වෙලාවට වැඩ කළා. ඒ නිසා දැරණියගල මිනිස්සු මට නමකුත් දාගත්තා ‘කණ්ණාඩියා’ හෙවත් ‘යකා මහත්තයා’ කියලා. දැරණියගල යකා දොස්තර මහත්තයා කිව්වාම ඒ පැත්තේ ඕන කෙනෙක් දන්නවා ඒ කාලේ.
නීතියට වැඩ කළ යකා දොස්තර මහත්තයාට අවනීතිය එරෙහි නොවූවා නොවේ. දැරණියගල ගතවුණු තෙවැනි වසරේ යකා දොස්තර මහත්තයාව දැරණියගලින් පන්නා ගන්නට වුවමනා වුණු අතළොස්සක් නිසා කෑගල්ලට මාරුවන්නටද සිදුවී ඇත. වැඩි දවසක් යන්නට මත්තෙන්ම ‘යකා දොස්තර මහත්තයා ඕනෑ බව’ කියමින් කෑගල්ලටත් දැරණියගලින් යැවුණු ලිපි, පෙත්සම් යකා දොස්තර මහත්තයාව දැරණියගලටම ගෙන්වා ඇත්තේ ‘අලුත් දොස්තර මහත්තයකුගෙන්’ නොදැකිය හැකි තරමේ මනුස්සකම් දැරණියගල මිනිසුන්ගේ හදවත් අල්වාගෙන තිබුණු නිසයි.
අවුරුදු පහක් විතර දැරණියගල ඉඳලා වෛද්‍ය පරිපාලන විභාග සමත්වෙලා මම ටික කලක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩ කළා. මාරවිල, හලාවත, කුලියාපිටිය, දඹුල්ල, රාගම කියන රෝහල්වල තමයි මම වැඩ කරලා තියෙන්නේ. මට කවදාවත් කොළඹට වෙලා ඉන්නවත්, පිටරටකට යන්නවත් ඕන වුණේ නැහැ. පර්යන්ත රෝහල්වල පරිපාලනයට මම වැඩිපුර කැමැති වුණේ ඒ පළාත්වල ඉන්න මිනිස්සුන්ට යමක් කරන්න මගේ හිතේ තිබුණු ආසාව නිසා. තාත්තාගෙන් මම ඉගෙන ගත්ත විදිහට සල්ලිවලඩ වඩා මනුස්සකම් හරිහම්බ කරගන්න ඕන කියලා දැනුණු නිසා.
එක එක රෝහලේදී මම කරපු දේවල් වෙන් කරලා කියනවාට වඩා හොඳයි මම කරපු දේවල් කියාගෙන ගියාම. මම හැමදාම උදේට, හවසට මම වැඩ කරපු රෝහල් හැම එකකම වාට්ටු රවුමේ යනවා. ඒ යද්දි මම වාට්ටුවල හැම පහසුකමක් ගැනම සොයලා බලනවා. වැසිකිළි, වතුර, කෑම හදන තැන වගේ හැම දෙයක්ම. ගොඩක් රෝහල් වාට්ටුවල සනීපාරක්ෂාව හරිම දුර්වලයි. සමහර තැන්වල මම ම වැසිකිළි සුද්ද කරපු වෙලාවල් තියෙනවා. රෝහල්වල නඩත්තු අංශවල අය එක්ක එකතුවෙලා කැඩුණු වැසිකිළි, කානු, කොරිඩෝ, වාට්ටු අතර පාරවල් මම ම හදපු වෙලාවල් තියෙනවා. මට ඒ දේවල් කරන එක මදිකමක් නම් නෙවෙයි. සමහර මගේ මිත්‍රයෝ නම් කියනවා මේ දොස්තර කෙනෙක් නොකළ යුතු ‘තුට්ටු දෙකේ’ වැඩ කියලා. දොස්තර කෙනෙක් වැසිකිළියක් හෝදන එක තුට්ටු දෙකේ වැඩක් වෙන්නේ කොහොමද? ඒ දේවල් කරන්න බැරි තරමේ ලොකුකමක් තියෙන්නේ ඕන නැහැ කියලයි මම නම් හිතන්නේ.
දොස්තර මහත්තයාගේ වගකීම අකුරටම ඉටු කරන්නටද ක්ෂණයෙන් රෝහල වෙනුවෙන්, රෝගීන් වෙනුවෙන් අවශ්‍ය ඕනෑම වගකීමක් ඉටු කරන්නට තරම් වෙනස් වන්නටද වෛද්‍ය අරඹෙගෙදර අපූරු හැකියාවක් ඇත්තෙකි.
හැම රෝහලකදිම වගේ මට උදේට ඇඳගෙන හිටපු ෂර්ට් එක මට හවසට අඳින්න බැහැ. මම වාට්ටු රවුම ගිහින් හැම තැනම බලලා එද්දි ෂර්ට් එක දාඩියෙන් තෙමිලා. ඒ තරමටම මම හැමදේම හොයලා බැලුවා. හැමදාම අමතර ෂර්ට් එකක් අරගෙනයි මම වැඩට ගියේ.
ඔහුගේ කැපවීම පුදුම හිතෙන තරමේය.
යුද්දෙ කාලේ මම හිටියේ දඹුල්‍ලේ. දඹුල්ල රෝහල ගංවතුරෙන් යටවුණු කාලෙත් මම දඹුල්‍ලේ. ඒ හැම වෙලාවෙම මම රෝහලේම හිටියා. මට පුළුවන් උපරිම දේ කළා. මාරවිල පර්යන්ත රෝහලේ ඉන්න කාලේ හෙද විවේකාගාරයක් වෙනුවෙන් තිබුණු පුංචි කාමරයක් නිසා අත්හැරිලා තිබුණු ගොඩනැගිල්ලක අක්ෂි වාට්ටුවක් මම හැදෙව්වා. ඒ වෙනුවෙන් ඒ හෙදියනුත් තමන්ගේ තැන වෙනස් කරලා කැප කිරීමක් කළා. අද මාරවිල රෝහලේ මාසෙකට ඇස් සැත්කම් 100ක් විතර කරනවා. දඹුල්ල, කුලියාපිටිය රෝහල්වල, රාගම පවා මම ප්‍රජාවගෙනුත් උදව් අරගෙන, රජයෙන් හැමදේම ලැබෙනවතුරු නොඉඳ ගොඩක් ප්‍රශ්න විසඳුවා. අබලන් කියලා අයින් කරලා තිබුණු ඇඳ, ටේරාලී, පුටු, සූතිකාගාර ඇඳන් රෝහල්වල නඩත්තු අංශවල උදව්වෙන් මම හැදෙව්වේ ගබඩා කාමරවල රිංග රිංගා හොයලා. නඩත්තු අංශවලින් රෝහලට විය යුතු උපරිම දේ ලබලා දෙන්න මම ඉඩ හදලා දුන්නා. අදටත් මම කරපු දේවල්වලින් මම හිටපු රෝහල්වල දැන් ඉන්න අය ප්‍රයෝජන ගන්නවා.
යුද්දෙ කාලේ මම හිටියේ දඹුල්‍ලේ. දඹුල්ල රෝහල ගංවතුරෙන් යටවුණු කාලෙත් මම දඹුල්‍ලේ. ඒ හැම වෙලාවෙම මම රෝහලේම හිටියා. මට පුළුවන් උපරිම දේ කළා. මාරවිල පර්යන්ත රෝහලේ ඉන්න කාලේ හෙද විවේකාගාරයක් වෙනුවෙන් තිබුණු පුංචි කාමරයක් නිසා අත්හැරිලා තිබුණු ගොඩනැගිල්ලක අක්ෂි වාට්ටුවක් මම හැදෙව්වා. ඒ වෙනුවෙන් ඒ හෙදියනුත් තමන්ගේ තැන වෙනස් කරලා කැප කිරීමක් කළා. අද මාරවිල රෝහලේ මාසෙකට ඇස් සැත්කම් 100ක් විතර කරනවා. දඹුල්ල, කුලියාපිටිය රෝහල්වල, රාගම පවා මම ප්‍රජාවගෙනුත් උදව් අරගෙන, රජයෙන් හැමදේම ලැබෙනවතුරු නොඉඳ ගොඩක් ප්‍රශ්න විසඳුවා. අබලන් කියලා අයින් කරලා තිබුණු ඇඳ, ටේරාලී, පුටු, සූතිකාගාර ඇඳන් රෝහල්වල නඩත්තු අංශවල උදව්වෙන් මම හැදෙව්වේ ගබඩා කාමරවල රිංග රිංගා හොයලා. නඩත්තු අංශවලින් රෝහලට විය යුතු උපරිම දේ ලබලා දෙන්න මම ඉඩ හදලා දුන්නා. අදටත් මම කරපු දේවල්වලින් මම හිටපු රෝහල්වල දැන් ඉන්න අය ප්‍රයෝජන ගන්නවා.
ටොයිලට් හදලා, ගොඩනැගිලි හදවලා, වතුර ප්‍රශ්න, සායනවල ප්‍රශ්න විසඳලා මට ඕනවුණේ කැපී පෙනෙන්න නෙවෙයි. මම කරන දේවල් අහලා දැකලා අලුතෙන් එන දොස්තර මහත්වරු අලුතෙන්ම හිතන්න පුරුදු වෙනවාටයි මම කැමැති. දොස්තරකම කියන්නේ වෙද නළාව කරේ දාගන්න එකම නෙවෙයි, මිනිස්සු වෙනුවෙන් වැඩ කරන එක. වෛද්‍ය සුදර්ශන අරඹෙගෙදරට වුවමනා හොඳම දොස්තර මහත්තයා වන්නට නොව, හොඳ දොස්තර මහත්වරු තනන්නටය.
මම වගේ අය තවත් බිහිවෙනවාටයි මම කැමැති. මම ටිකක් සැරයි. ඒත් ඒ මිනිස්සුන්ට හරියට සේවය නොකරන අයට. මගේ ගෙදරින්, බිරිඳගෙන්, දුවගෙන් මට ලැබෙන ඇගැයුමත්, ප්‍රතිචාරත් මට තව තවත් හොඳ දොස්තර මහත්තයෙක් වෙන්නත් හරි වටිනවා කියලත් කියන්නම ඕන. ඔහු පුදුම දොස්තර මහත්මයෙකි. තමන් පරදන්නට තවකෙකු එන ගමන දරාගත නොහී හරස් කපන බොහෝ අය අතරේ ඔහුගේ නම් කැමැත්ත ඔහු වන් පුදුම දොස්තර මහතුන් තව තවත් සිටිනවා දැකීමය. කතාබහ ඇරඹුමේදී සේම අවසනදී ද ඔහු අපව පුදුම කළේ ඒ කතාවෙනි.
මම වැඩ කරන විදිහට තවත් අය වැඩ කරවන්නයි මට ඕන ඔහු යළි යළිත් කීවේය.
මම වැඩ කරන විදිහට තවත් අය වැඩ කරවන්නයි මට ඕන ඔහු යළි යළිත් කීවේය.
No comments:
Post a Comment