Thursday, March 16, 2017

වියපත් පිරිමින් ළාබාල කතුන් බඳින්නෙත් රාගය හින්දයි


වියපත් පිරිමින් තමන්ට වඩා බොහෝ ළාබාල කාන්තාවන් විවාහ කර ගැනීම පිළිබඳව පොදු සමාජ කතිකාවක් පැන නැඟී ඇති වර්තමානයේ ඒ සම්බන්ධ බෞද්ධ ආකල්පය විමසා දැන ගැනීම පිණිස අපි රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ පූජ්‍ය හෑගොඩ විපස්සි හිමිපාණන් වෙතින් මෙම විමසීම කළෙමු.
ස්වාමීන් වහන්ස, සැමියකු සහ බිරිඳක අතර තිබිය යුතු නිශ්චිත වයස් පරතරයක් පිළිබඳව බුදු දහමේ යම් පැනවීමක් තිබෙනවාද?
බුදු රජාණන්වහන්සේ කිසිම තැනක ගිහියන් උදෙසා විශේෂ පැනවීම් සිදු කොට නැහැ. විනය නීති මගින් ‍එසේ පැනවීම් කොට ඇත්තේ භික්ෂූන් වහන්සේලා සඳහා පමණයි. නමුත් බුද්ධ දේශනා මගින් සෘජුව සහ වක්‍රව පැවසෙන කරුණු ඔස්සේ තමන් ගේ ජීවිත ගොඩ නඟා ගැනීමේ වගකීම ගිහියන් වෙත පැවරෙනවා.
ඒ අනුව අඹු – සැමි යුවලක් අතර පැවැතිය යුතු ගැලපීම් පිළිබඳව බුදු දහමේ සඳහන් වෙනවාද?
ඔව්; සංයුක්ත නිකායේ මාතුගාම සංයුක්තයේ එන මාතුගාම සූත්‍රවල විවාහය සඳහා තිබිය යුතු ගැලපීම් පිළිබඳව සඳහන් වෙනවා; එහි දී තමන්ගේ රුවට ගැලපෙන, වත්කමට ගැලපෙන, සිල්වත් බවට ගැලපෙන ආදී වශයෙන් විස්තර ඉදිරිපත් කෙරෙනවා.
එතකොට අඹු – සැමියන් අතර පැවැතිය යුතු වයස් පරතරය පිළිබඳව?
බුදු දහම මැදහත් බව, තුලනාත්මක බව, සමබරතාව පදනම් කර ගත් ශාස්තෘ දේශනාවක්. බුදු දහමේ ප්‍රධානම ඉගැන්වීමක් වන මධ්‍යම ප්‍රතිපදාවෙන් වුවත් ඒ බව සනාථ වෙනවා; ඒ අනුව යෞවනය ඉක්මවූ (අතීත යොබ්බන); එනම් වයස්ගත පිරිමියකු යෞවනියක හා විවාහ වීම වැනි අගතිගාමීත්වයන් බුදු දහමින් අනුමත වන්නේ නැහැ. එය යමකුගේ පිරිහීමට හේතුවක් බව පරාභව සූත්‍රය මගිනුත් සෘජුව අවධාරණය‍ කෙරෙනවා.
ඊට හේතු වශයෙන් බුදු දහම ඉදිරිපත් කරන කරුණු මෙනවාද?
තරුණියක සහ වියපත් පුද්ගලයකු අතර ඇතිවන විවාහය කියන්නේ කායික, මානසික නොගැලපීම් මැද සිදුවන්නක්. විශේෂයෙන් වියපත් වීමත් සමඟ පුද්ගලයකු කායික මානසික වශයෙන් පිරීහීමට ලක් වෙනවා. එවිට තමන් ගේ ‍යොවුන් බිරිඳ තමන්ට වඩා කායික මානසික ගැලපීමකින් යුතු තරුණයකු සමඟ එක් වෙතැයි යන සැකයෙන් ඒ වියපත් තැනැත්තා දිවා රෑ පෙළෙන බවත්, එමගින් බිරිඳ පිළිබඳ ඊර්ෂ්‍යා සහගත සිතුවිලි ඇතිවන බවත් සූත්‍ර අටුවාවේ පැහැදිලිවම සඳහන් වෙනවා.
නමුත් වියපත් කාන්තාවක තරුණයකු හා විවාහවීම සම්බන්ධයෙන් බුදු දහමේ එවැනි විශේෂිත සඳහනක් නැහැ නේද?
මම කලිනුත් කී විදිහට බුද්ධ දේශනාව කියන්නේ අපේ කටවහරට අනුව කීවොත් ‘ඇඟිල්ලෙන් ඇන ඇන’ කරුණු කියා දෙන ශාස්තෘ දේශනාවක් නොවෙයි. බුදු දහමින් සෘජුව හා වක්‍රව ඉදිරිපත් වන කරුණු අනුව අපගේ ජීවන දර්ශනය අප විසින්ම ‍‍ගොඩ නඟා ගත යුතු බවයි බුදු දහමේ ඉගැන්වෙන්නේ. එහි බුදු වරුන් පිළිබඳව විස්තර කරන්නේ මාර්ගෝපදේශකයන් වශයෙන් විතරයි.
කුසලය සහ අකුසලය පිළිබඳව විශේෂයෙන් සඳහන් කරන බුදු දහමට අනුව මෙසේ විශාල වයස් පරතරයක් සහිත විවාහයක් අකුසල කර්මයක් විදිහට හඳුන්වන්න බැහැ නේද?
මොකද බැරි? පැහැදිලිවම පුලුවන්! රාගය කියන දේ පුහුදුන් මිනිසුන් තුළ හටගන්නා ස්වභාවික ආවේගයක් බව බුදු දහම සෘජුවම පිළිගන්නවා; එය මැඩ පැවැත්වීම ගලා ගෙන යන ජලයක උඩුගං බලා පිහිනීමක් (පටිසෝතගාමී) බඳු අසීරු දෙයක් බවත් බුදු දහම පිළිගන්නවා; ඒ වගේම එය පියවරින් පියවර ඉදිරියට ගෙන යා යුතු ක්‍රියා මාර්ගයක්! ඒ කියන්නේ අනුපූර්ව ශික්ෂාවක්!
නමුත් මෙවැනි නොගැලපෙන විවාහ බුදු දහමේ හැඳින්වෙන්නේ ‘අධම්ම රාග’ වශයෙන්. ඒ කියන්නේ නොහික්මුණු මෛථුන සේවනයක් හැටියට; නුසුදුසු පරිදි එලෙස මෛථුන සේවනයේ යෙදීම (අයුත්තට්ඨානෝ රාගෝ) බුදු දහමින් ප්‍රතික්ෂේප වන බව දීඝ නිකායේ චක්ඛවත්තී සිහනාද සූතුයෙන් සහ එහි අටුවාවෙන් පැහැඳිළි වෙනවා. ඒ වගේම යමකු සම්මත සදාචාර ධර්ම ඉක්මවා මෙවැනි අධර්ම රාගයට යොමු වන්නේ දැඩි ලෝභය (අභිජ්ජා) මුල් කොට ගෙන බව බුදු දහම අවධාරණය කරනවා. ඒ අනුව ඒකාන්ත වශයෙන්ම ඒක අකුසල කර්මයක්.
නමුත් අපි හිතමු කිසියම් වයස්ගත පුද්ගලයකු ජීවිතයේ අසරණ වූ තරුණ කාන්තාවකට පිළිසරණක් වීමේ අදහසින් ඇය විවාහ කර ගන්නවා කියා. ඒක කොහොමද අකුසලයක් වන්නේ? 
විපයත් පිරිමියකුට අසරණ වූ තරුණ කාන්තාවකට පිහිටවීමට අවශ්‍ය නම් ඇයට සියළු රැකවරණ (රක්ඛාවරණ ගුත්ති) ලබා දියහැකියි. නමුත් නිස්සරණ ධ්‍යාසයෙන් එසේ කිරීමත් එවැන්නියක විවාහ බන්ධනයකට නතු කර ගැනීමත් අතර ලොකු වෙනසක් ‍තිබෙනවා; වියපත් පුද්ගලයකු ළාබාල කාන්තාවක් වුවත් විවාහ කර ගන්නේ රාගය පදනම් කරගෙනයි.
නමුත් සමාජයීය වශයෙන් ගත් විට බොහෝ වියපත් පිරිමියකු වුවත් තරුණ කාන්තාවක විවාහ කර ගැනීමේ කිසිදු දෝෂයක් නැතැයි බොහෝ දෙනෙක් පවසනවා. ඒ අනුව නූතන සමාජයීය ආකල්ප සහ බෞද්ධ ඉගැන්වීම් අතර යම් පරස්පරතාවයක් තිබෙනවා නේද? 
නූතන ව්‍යවහාරයට අනුව ගත්තත් පවුල කියන්නේ සමාජයේ කුඩාම එකකය. ඒ පවුල් ඒකකය නොබිඳී ස්ථාවරව පැවැතීම මත තමයි සමාජයේ ස්ථායි භාවය තහවුරු වෙන්නේ. බුදු දහමේ උත්තරීත්තර පරමාදර්ශය නිවන වුණත් පුද්ගලයා, පවුල සහ සමාජය කියන කරුණු තුනම එමගින් සමෝධානයට ලක් කෙරෙන බව සූත්‍ර පිටකය විශ්ලේෂණය කිරීමේ දී මනාව පෙනී යනවා; විශේෂයෙන් දීඝ නිකායේ සිඟාලෝවාද සූත්‍රය කියන්නේ පුද්ගල, පවුල්, ප්‍රජා සහ සමාජමය වශයෙන් මිනිසාට යහපතක් උදාකර ගැනීමට මඟ පෙන්වන බුද්ධ දේශනාවක්. එමගින් ගිහි සමාජය වෙත චිත්ත දමනය මුල්කොට ගත් යුතුකම් මත පදනම් වන සදාචාරාත්මක ක්‍රියාදාමයක් යෝජනා කෙරෙන බව කුඩා දරුවන් පවා දන්නා කරුණක්.
නමුත් ඔය කියන ආකාරයේ වියපත් පුද්ගලයන් තරුණ කතුන් විවාහ කර ගැනීම ඔස්සේ යුතුකම් මත පදනම් වන ඒ ක්‍රියාදාමයට පවා සෘජු බාධා පැමිණෙන බව සාමාන්‍ය සිහිබුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුට වුණත් වටහා ගන්න පුලුවන්. ඉතින් ඒ අනුව වුවත් බොහෝ වියපත් පුද්ගලයන් ඊට වඩා බොහෝ ළාබාල කතුන් විවාහ කර ගැනීම සම්බන්ධයෙන් බුදු දහමින් අනුමැතියක් නොලැබෙන බව සිතා ගැනීමට පුලුවන්නේ!

No comments:

Post a Comment